Monday, June 30, 2008

සීල් මත්ස්‍යයන් මිලියනයකට වඩා මරන්න ගියේ අවුරුදු 3 යි!



කැනඩාවේ සහ නෝවේ රටවල අය, අලුත් සෙල්ලමක් පටන් ගෙන අවුරුදු කීපයක් වෙනව. "සීල් කිල්". උන් මරන්නෙ පොලුවලින් ගහල, කොකු සහිත පොලුවලින්. කොටසක් පනපිටින් හම ගහනව. පැටව මරන්නෙ අම්ම ඉදිරිපිට.

පැටව් බේරා ගන්න එන අම්මට, වද දීලයි මරන්නෙ. මෙවැනි දෙයක් අවුරුදු ගනනක් කරගෙන යන්න මේ මිනිසුන්ට ඉඩ දෙන්නෙ කවුද?

හැකපික් නම් ආයුධය පොල්ලකට සවි කල යකඩ කොක්කක්. මෙය සුදුසුම "උපකරණය" ලෙස පිලිගෙන තිබේ. මේ වසරේ නැමීබියාව ද මේ කිරි බී වැඩෙන සතුන් 86,000 ක්, පැටවුන් විශේෂයෙන් තෝරා, මරනු ඇත.

මෙම මරන ක්‍රමය ඉතා කරුණාවන්ත ක්‍රමයක් යැයි නැමීබියා ඇණ්ඩුව කියයි! මස්, හම ප්‍රයෝජනයට ගනු ලැබේ. අනික උන් මත්ස්‍යයන් ටොන් ගානෙ කන්නෙ. "අපේ කෑම උන් කා දානව" යැයි ධීවර ඇමති පවසයි.

එතකොට උන් කන්නෙ මොනවද? කුරුල්ලො අපේ පලතුරු කනව. උන් මරා දමමු. මී මැසිසො අපේ පැනි බොනව, උන්වත් මරා දමමු!

ඔන්න ඕකයි වැඩේ. නවත්තන්න බෑ. මේව කරන්නෙ රටවල ආණිඩුවේ අනුග්‍රහය ඇතුවයි.......

Sunday, June 29, 2008

සජීවි තුරුදැල සහ ෆොස් විකිය - තොරතුරු එකතුවක්



මෙම වෙබ් අඩවි දෙකේම අයිතිකරු සහ කතු විලියම්‍ ස්ටුවර්ට් (William Stewart) . ඔහු මෙසේ කියයි:
ඔහු FreeOpenSourceSoftware.* වෙබ් අඩවි වල අයිතිකරු වීමට වාසනාව දරණ අතර, ඔහු මෙම ෆොස් විකිය විවෘත මෘදුකාංග යොදවන සමාජයට පුද කරන වගත්, එය ඔබ සැමගේ සහයෝගය තුලින් වැඩී, සැමට දැණුම බෙදා හෙදා ගන්න හැකි වේවායි පතයි. මේ ගැන සැමට දන්නන්නැ යි ඉල්ලා සිටිනවා.

Friday, June 27, 2008

පිලිකාව සමග සටන පැතිරී ලොවම යුධ බිමක් බවට පත්වේවා!

පිලිකාව මිනිස් රෝග අතර නපුරුම රෝගය බව බොහෝ අයගේ මතයයි. ජනගහනය වැඩිවෙමින් පවතින ගමන්, වයස වැඩි, මහලු යයි කිව හැකි ජනකොටස ද එලෙසම වැඩිවේ. පිලිකා බහුල වැඩි වයස් උදවියගේ බැවින්, නුදුරු අනාගතය, පිලිකාව හා අප අතර සටනක් වන බවත්, එම සටනට ලෑස්ති නොවුවොත් දුක් විඳමින් මැරෙන මෙම රෝගයට ගොදුරු වීමට සිදුවන බවත්, නිසැකයි.

මෙම රෝගය පිලිබඳ දැණුම ටිකින් ටික වැඩි වෙමින් පවතිනව. එම දැණුම අපේ ලොකුම ආයුධයයි. මෙම දත්තය සුව සයුර තුලින් විස්තර කිරීමට බලාපොරොත්තු වන අතර, මෙම රෝගය ගැන දන්නා මූලික කරුණු කෙටියෙන් සලකා බලමු.

පිලිකාව ඇතිවීමට හේතු ප්‍රධාන වශයෙන් දෙකකි.

1. උප්පත්තියෙන්ම ඇති ප්‍රවනතාවක් - බොහෝවිට ජානතුල ඇති දෝශ. මේ අයට මව් කුස තුලම හෝ උපන් පළමු වසර තුල හෝ කුඩා කල පිලිකා ඇතිවීමට පුලුවනි. තවත් සමහරුනගේ, අවුරුදු 20-30 පසු පිලිකාව මතුවිය හැකිවේ.

2. පරිසරයේ අහිතකර බලපෑම් හේතුකොට පිලිකා ඇතිවීමට පුලුවන. උදාහරනයකට දුම් බීම නිසා පිලිකා කීපයක් ඇතිවිය හැකි බව. මේ අයගේ සිරුර තුලද යම් ජාන වල දෝශ මුල්පත් කරගෙන, දුම් බීමේදී සිරුරට ඇතුලුවන අකිතකර දෙයට මෙසේ ප්‍රතිචාර දක්වන බව ද සිතිය හැකි වේ. එනම් ඔවුන් තුල යම් "දුර්වලතාවක්" මුලසිටම තිබූ වගයි.


පිලිකාවක මූලික ලක්ෂන මොනවාද?

සිරුරේ ඕනෑම පටකයකින් හටගත හැකිවේ. ඕනෑම වයසක පිලිකාවට ගොදුරු වීමට පුලුවන. පිරිමි, ගැහැනු වෙනසක් නැත. වැඩිපුර හටගන්නේ වයස 60 ට වැඩි අයගේය.

පිලිකා ශෛල, පාලනයක් නොමැතිව වැඩේ. සීග්‍රව වැඩේ. පටක මායිම් ගැන නොසලකයි. පටන් ගත් පටකයෙන් බැහැරව ගොස් වෙන පටක තුල වැඩීමට හැකියාවක් ඇත. පටක වැඩීමේ දී පිලිපදින නීති රීති නොසලකා, මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් සේ හැසිරේ!


දැනට වෛද්‍යවරුන් අතට ගත් ආයුධ කවරේද?
1. කපා දැමීම - ශල්‍යකර්මය
2. පිලිස්සීම - විකිරන යොදවා
3. වස දීම - බෙහෙත් හා රසායනික ද්‍රව්‍ය යොදවා
4. පිලිකාවට අවශ්‍ය පරිසරය වෙනස් කිරීම - උදාහරනයක් ලෙස හෝමෝන අඩු වැඩි කිරීමෙන්
5. සිරුර තුල ඇති, අප සැමට ආවේනික වූ , යුධ හමුදාව යෙදවීම - ප්‍රතිශක්තිය


මේ යුද බිමෙන් සුබදායක පුවත් බලාපොරොත්තු වෙමු. අනාගත යුද්ධය හොඳ පැත්තට යන ලෙස පතමු.......

Thursday, June 26, 2008

ඉස්ගෙඩියා ඔලුගෙඩියට ආවෙ නෑ නොවැ!


අප ලොව "දියුණු" කිරීමේදී අනික් සතුන් ගැන සිතන්නේ නෑ නොවැ. ගෙම්‍බො ගැන හිතුවෙත් නෑ....

මෙලොවින් ඉස්ගෙඩියන් (එමනිසා ගෙම්බො) සීග්‍රව තුරන් වෙන බවට සලකුනු කාලයක් සිට තිබුන. විශේෂයෙන් "දියුණු" රටවල. කවුරුවත් දන්නෙ නෑ ඇයි කියල. උන් නොයෙක් විකෘති වේශයන් ගෙන් වර්ධනය වෙන්න පටන් ගත්ත. කවුරුවත් දන්නෙ නෑ ඇයි කියල. ගෙමිබව් මිනිසුන් තම පර්යේශන වලට භාවිතා කරන නිසා, සමහරු උන් අල්ලාගෙන පර්යේශනාගාර වලට විකුනල ජීවත් වෙනව. ප්‍රංශයේ අය උන්ගෙ පිටිපසු ගාත දෙක කපල උයන් කනව. කුඩා වතුර ජලාස වල ජීවන චක්‍රයට උන් හරිම වැදගත් කියල ජීව විද්‍යාව හදාරන අය කියනව. සමහර විට අපේ ජීවිතයටත් උන් වැදගත් වීමට පුලුවනි.


අනික, උන් හරි අහිංසක සතුන් - අපේ පැත්තෙන් බලන කොට. මිනිසාට බෝවන කිසිම රෝගයක්, දන්න හැටියට, ගෙම්බ ගෙන් හැදෙන්නෙ නෑ. හපා කන්නෙත් නෑ. ඉඳල හිටල නොදැණුවත් කමට ඇඟට පනිනවනම් තමයි!

මිනිසා හේතුකොට ගෙන ඌ නැති වෙනවද? අප අතින් පරිසරයට කෙරෙන හානිය ඉමහත් නෙ. මොනව කරනවද, මොනව වෙනවද කියල අප දන්නෙත් නෑ. කොහොම හරි අප කරන දෙයින් උන් මෙලොවින් සදහටම නැතිවී යන්න පුලුවනි. මොනව කරන්නද?

2008 වසර ගෙම්බාගේ වසර Year of the Frog ලෙස හැඳින්වෙන්නේ බොහෝ රටවල අය මේ සතුන්ගේ අනාගතය ගැන සැකයක් ඇතිවීම නිසයි.

උන්ගෙ පිංතූරු තියා ගන්න එක දැන් ටිකක් වැදගත් වෙනව. මං හරි ආසයි උන්ගෙ හඩට. වෙලක් දොලක් ලඟ හවසට ඉඳගෙන ඉන්න කොට, පාලුව මකන්න ඒ ශබ්දය යටිතලයක් වෙනව. නුදුරු අනාගතයේ එය නිහඩ වෙයිද? එසේ වූවිට හඩන්නේ වෙල දොල පමණද?

Tuesday, June 24, 2008

කුරුලු අදහස්

පුනරුප්පත්තිය පිලිගෙන වියවස්ථාවට ඇතුල් කලොත්...

පුනරුප්පත්තිය ගැන අදහසක් අප අතර තිබුනත්, සමහර ආගම් වලින්ද සත්‍යයක් ලෙස දෙසුවත්, එය සත්‍යයක් ලෙස සාමාන්‍ය ජීවිතයට හා ආණ්ඩු ක්‍රමයට යොදවා ගන්නා බවක් නොපෙනේ. එසේ නොකිරීම රටටත්, සමාජයටත්, ජාත්‍යන්තර සබදකම් වලටත්, සතුන්ගේ ජීවනයට හා ආරක්ෂාවටත් අසාදාරනයකි.

මෙම අදහස බහුල ලෙස පැතිර ගියහොත් රටක් තුල ලොකු වෙනසක් ඇතිවනු බව නියතයි. මේ ගැන මදක් සිතමු. අපි එක් එක් ආත්ම වල නොයෙක් රටවල උප්පත්තිය ලැබෙන බව ඇත්තටම තේරුම් ගත් විට රටවල් අතර ගැටම් අඩුවෙනව. "පිට රට" කියල හිතන එක වැරදි බව තේරෙනව!

මිනිසුන් පමනක් නොව, දේව, භූත, පේත, සත්ව යන සෑම ජීවීන් ගැන එකවිට සැලකිමට සිදුවේ. ඇයි? සමහර විට ඔවුන් මිනිස් ලොව ඉපදිය හැකි නිසයි. එපමණක් නොව, අප එලොව ඉපදිය හැකි නිසයි. එමනිසා ඒ හැම ලොවේම අය සමග සුහද ලෙස ජීවත් වීම හා ඔවුන්ගේ සතුට ගැන අවදානය අප තුල පිහිටිය යුතුය. ඔවුනට අදාල පින්කම් ආදිය පුද්ගලිකව පමණක් නොව, ආණ්ඩුවේ සහාය ඇතුව ද කල යුතුය. එමෙන්ම, සතුන් ගැන නීති පැනවීමේදී එය, පුද්ගලිකව සිතා එසේ කල යුතු. උදාහරණයකට තමා අලියෙක් වී ඉපදිය හැකියැ යි සිතා, අලින්ගේ සුවසිද්දිය ගැන සිතා මතා සුදුසු නීති මාලා හරහා වැඩ පිලිවෙලක් ක්‍රියාකිරීමට සිදුවේ.

මිනිසුන් කරන කුසල් හා අකුසල් කර්ම සුදුසු ලෙස ලියා පදිංචි කිරීමෙන්, අනාගතයේ ඇතිවිය හැකි කර්ම විපාක ගැන යම්විදියක තක්සේරුවක් කිරීම මැනවි. නැවත මිනිස් ආත්මයක් ලිබීමේ ප්‍රවනතාව ගණනය කිරීමට ක්‍රම සහ විධි ගැන ආචාර්යවරුන් වෙහෙස වනු ඇත.

අංග විකල ළමයි බිහි වූ විට ඊට හේතුව පෙර කර්ම නිසා යැයි පැහැදිලිව තේරුම් ගෙන, ඉන් ඉහත ආත්ම වල එසේ නොවිමට, එම ළමයා හැකි තරම් පින්වන්තව ජීවත් වීමේ වැදකත්කම ඔහුට පසුව දැනිවිය යුතුවේ. ඔහුට ඒ පින් කරගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දීම, ආණ්ඩුව විසින් පත්කරන විශේෂ මණිඩලයක් හරහා කෙරෙනු ඇත. එවැන්නෙකුට උදවු කිරීමෙන්, උදවු කරන අයට එසේ ඉපදීම වැලකිය හැකි වේ.

වැඩිහිටි මහලු අය සමාජයට වැඩක් නැති අය ලෙස නොව, අනාගත පරපුර ලෙස සැලකෙනු ඇත. ඔවුන් නොසලකා හැරියොතින්, නැවත ඉපදුනු ඔවුන්, ඒ අයට ද එසේම සැලකිය හැකියි. ඔවුන් ළමයින් ලෙස උපත ලබා, අර නපුරු අයට බොහෝ වද දුක දීමට පෙලඹීමට ඉඩ තිබේ. මෙලෙස සිතන දැන් තරුණ අය, වයසක උදවියට මීට වඩා සැලකීමට පුලුවන. දේශපාලනය කරණ අය, අවුරුදු 5ක සැලැසුම් නොව 100යක සැලසුම් ද ලිවීමට සිතන්නට පටන් ගනියි. ඇයි, ඔවුන් ඊලඟ ආත්මයේදිත් මෙරටම උපන්නොත් එහෙම, කියල සිතන නිසා. තමාගේ ළමයින්ගේ අනාගතය පමණක් නොව, තමාගේ අනාගතයට ද සිත යොමු කරන්න වෙනව. නොයෙක් රටවල්‍ අතර ගිවිසුම් සාදා එකිනෙකා යම් තත්ත්වයකට ගෙන ඒමට වඩාත් මහන්සි වනුයේ, අනික, තමාගේ අනාගත රට විය හැකි බව දන්නා හෙයිනි.

සත්වයින් දිහා බලන විට, කිසිම සතෙක් මරා දැමීම හෝ මරා මස් කැම නිති විරෝදී වනු ඇත. මිනිසෙක් මරාගෙන කෑමක් සේම දරුණු වරදක් ලෙස සලකන්න වෙනව. කැටපෝලයෙන් විද මරන ලේනා, තමාගේම මැරුණු පියා විය හැක, තමා අනුබව කරන්නේ කුඩා කල නැතිවුනු තම සහෝදරයා විය හැකියි.

සිසුන් සහ දෙගුරුන් අතර ඉතාම සුහද සබදතාවක් ගොඩනැගෙන්නේ, ඔවුන් මාරිවෙන් මාරුවට සිසුන් හා ගුරුවරුන් වන බව වැටහීමෙනි. සංගමයක උසස්ම නිලධාරියා, පහළම කෙනාට හොඳින් සලකන්නේ, ඔහු පසු ඇත්මයක, එතනම, අර වගේ පහල රැකියාවකින් පටන් ගත්තොත් කියල හිතන නිසයි.


මිනිසුන් නිහතමානී විමටද මෙම සංකල්පය බෙහෙවින්ම පිහිටවෙනව. මරණය ගැන සැමවිට සිතනව. උපත සහ මරණය අතර කාලය, සංසාරයේ එක් කොටසක් බව දන්නාවිට, මරණය ගැන බය අඩුවෙනව. සංසාර ගමණ නවත්තන්න හිතෙනව - නැතිනම් ආයිත් බබෙක් වෙන්න ඕනැ, පාසැල් යන්න ඕනැ, විභාග කරන්න ඕනෙ නේද?


සසරෙන් එතර වීමට ආණිඩුවෙන් සම්පූර්ණ අනුග්‍රහය දැක්වෙනව. ඔබට අවශ්‍ය වන භාවනාව ඉගෙනීම, එම කිරීමට අවශ්‍ය තැන්, ආහාර යනාදිය ලභා දෙනව. ඒ අය සමාජයට විශිෂ්ට සේවයක් කරන බව ආණ්ඩුව සලකනව.


මොකද ඔබ සිතන්නෙ මේ අදහස ගැන? ඔබ සියුම් සිනහවකින් මෙය කියවූ යැයි සිතමි!

Monday, June 23, 2008

කැපිලි, මැහිලි අඩු හෝ කොහෙත්ම නැති ශල්‍යකර්ම

බොහෝ ශල්‍යකර්ම උදරය තුල කරන ඒවා වන බැවින්, බඩ කපා පසුව මහන්න වෙනව. ඒ අවස්ථාවේ සිහිය නැති නිසා රිදුමක් නෑ. නමුත් මේකයි වෙන්නෙ. පසුව සිරැර මෙහෙයවන විට, රිදෙනව. සමහර අයගේ තුවාලය ආපහු විවෘත වන්න පුලුවන්, දින හතත් දහයත් අතර. තවත් සමහරවිට මාස කීපයකට පසුව "හර්නියා" අමාරුව ඇතිවන්න පුලුවන්. එහිදී වෙන්නේ හමට යටින් පේශි දුර්වල වීමයි. රෝගියා වෛද්‍ය උපදෙස් නොසලකා, තුවාලය හරිහැටි සුවවීමට පෙර, බර වැඩ වල නිරත වුවහොත්, උදරය තුල පීඩනය වැඩිවන විට, ඇතුලෙ බඩවැල් ආදිය ඒ උදර කුහරයේ දුර්වලතාව හරහා තෙරපී එලියට තල්ලු වෙනව. ලොකු බඩක් තියෙනව වගේ පෙනෙන්නෙ. තවද, බඩවැල් එම කුහරය තුල හිරවූවොත්, ජීවිතයට පවා හානි විය හැකි වෙනවා. ඇග වෙහෙසිල වැඩ කරන මිනිසුනට මෙහෙම වීමට ඇති අවස්ථාව වැඩියි. ඔවුනට මාස තුන හතරක් වැඩ නොකර ඉන්න වෙනව, තුවාලෙ හොද වෙනකන්. දුප්පත් අයට මෙය අසීරු වැඩක්. එනිසා ඔවුන්, බොහෝවිට, වෛද්‍ය අදහස් නොතකා, හැකි ඉක්මනින් තම රැකියාවට නැවත නිරත වනව.


ඇත්තටම, මෙසේ බඩේ ලොකු කැපුමක් නොකර මේක කරන්න පුලුවන් නම්‍ අපූරුයි නේද? ඉක්මනට ගෙදර යන්න පුලුවන්, රැකියාවට යන්නත් පුලුවන්, බර වැඩ කිරීමටත් මාසයකට වැඩිය ඉන්න ඕනෑ නෑ. ඔව් දැන් එසේ කරන්න පුලුවන්. කෙටියෙන් කියතොත්, ක්‍රම දෙකක් තිබෙනව. ඉංග්‍රීසියෙන් ලැපරොස්කොපි (laparoscopy) හා එන්ඩොස්කොපි (endoscopy) ලෙස නම දරන ශල්‍ය කර්ම තාක්ෂන දෙකයි මේ.

වකුගඩුවක ගලක් ඉවත් කිරීමට කුඩා සිදුරකින් අපකරණ යොදා ගල කුඩු කරමින් ඉවත් කර දැමීම

ස්වාභාවික සිදුරක් හරහා ගොස් ශල්‍යකර්මයක් කිරීම

මේ පුරස්ථ ග්‍රන්තිය ඉදිමීම නිසා ඇතිවන මුත්‍රා අඩස්සිය සුව කිරීමට කරන ලද්දකි.
මෙන්න එම ක්‍රමය ශල්‍ය වෛද්‍යවරුගේ ඇසින් පෙනෙන අයුරු

මෙම ක්‍රමය TURP ලෙස හඳුන්වනවා. එහිදී විද්‍යුත් ශක්තිය යොදවමින් පටක කපා ඉවත් කරනව. ලේසර් යොදා ආලෝක ශක්තිය භාවිතයෙන්ද, අල්ට්‍රාසවුන්ඩ් (අධික ශබ්ද තරංග ) ක්‍රමයේ පටක ඉවත් කිරීමට ශබ්දය ශක්තිය ලෙස යෙදේ, ගුවන් තරංග (radio-frequency waves) මේ සඳහා යෙදවිය හැකියි.

එනම්‍ මෙම ක්‍රම වලදී අවශ්‍ය
  • පටක කැපීමට හෝ විනාශ කිරිමට ශක්ති ප්‍රභවයක්
  • සියුම් සිරුර ඇතුල බලන්න පුලුවන් කාච හෝ වීදුරු කෙඳි හෝ ඉලෙක්ට්‍රොනික විඩියෝ ක්‍රමයක්
  • සියුම් අපකරණ
  • අපකරණ ඇතුලටත් පිටතටත් පහසුවෙන් එහා මෙහා කල හැකි කොපු (sheath)
ලැපරොස්කොපි ක්‍රමයට පිත්බොක්ක ඉවත් කරණ හැටි

මෙහිදී උදර කුහරයේ කුඩා සිදුරු තුලින් සියුම් උපකරණ බඩ තුලට යවා රෝගී පිත් බොක්ක ඉවත් කෙරේ.
මෙම ක්‍රමයට උදර කුහරයේ සෑම අවයවයකම ශල්‍යකර්ම කිරීමට පුලුවන. ගර්භාෂය, ඩිම්බ කෝෂ, පැලෝපියන් බට වැනි අවයව වලද එසේම කල හැකියි.