Thursday, September 3, 2009

ඇත්තටම මගේ කය මට ද?

මගේ සිරුර දිහා බලන විට මට හිතෙනව, යම් ලෙස හෝ ඒ ගැන කිසිම පාලනයක් මට තියෙනවද කියා. හුස්ම ගැනීම, හදවත ස්පන්දනය, ලේ ගමන, බඩවැල් වල ක්‍රියාකාරිත්වය, වකුගඩු ලේ පිරිසිදු කිරීම යන සියල්ල ස්‍වයං ක්‍රියාවලි නොව. සෑම ශෛලයකම නොයෙක් දේ නිරුතුව වෙනව. පටක, අවයව, පද්‍ධති ඔක්කොම එහෙමයි. "ඔටෝ" දාල. මට කරන්න දෙයක් නෑ. මගේ අත උස්සන කොට මා හිතා මතා කරන දෙයක් නේද? තව දුරට හිතුවම, මට ඒ ගැනත් සැක හිතුන. අතක් උස්සන කොට අස්ති, පේශි, හන්දි, ස්‍නායු කීපයක්ම වැඩකරනව. මා හිතල කරන්නෙ නෑ. ඒව ඔක්කොම ක්‍රමානුකූලව වැඩ කලේ නැතිනම්, මට අත හරියට පාලනයක් ඇතුව යොමු කරන්න බෑ. එතනත් ගොඩක් වැඩ එතකොට මගේ පාලනයක් නැතුව නොවෙද වනුයෙ?

මගෙ කය වයස යැම මට වලකන්න බෑ. උස මහත, හමේ පැහැය, මුහුනේ කැත, ලෙඩවීම, මරණයට පත්විම යන කිසිදෙයක් පාලනය කරන්න බෑ. ඔක්කොම "ඔටෝ"!

ස්‍වභා දහමෙන් දෙන මෙම සිරුර, "මේක ඔබට" ම කියල දීල නෑ. අයිතිය ස්‍වභා දහමටම යි. පාලනය ත් එයාටමයි.

Monday, August 31, 2009

වයැග්‍රා ට එහා

පිරිමින්ගේ ලිංගික ප්‍රානවත්වීමේ දුබලතාව ට ප්‍රතිකාරයක් ලෙස සොයාගත් වැදගත් බෙහෙතක් ලෙස හඳුනාගෙන ඇති වයැග්‍රා (Viagra) දැන් බහුලව භාවිතා වේ. මීටත් වඩා හොඳ යැයි සලකන සියැලිස් සහ ලෙවිට්‍රා ද බොහෝ අය භාවිතා කරයි. නමුත් මෙම බෙහත් සමහර අයට නුසුදුසුය. හදවත ආබාධ ඇති සමහරු නයිට්‍රොග්ලිසරින් නම් බෙහෙත් වර්ගයක් ගනියි ( හදවතේ ආභාධ ඇති අය දිව යට තබා ගන්නා බෙහෙත බොහෝවිට මෙයයි). මෙම බෙහෙත් දෙක එකවිට ගැනිම නිසා රුධිර පීඩනය හදිසියේ පහත වැටීම නිසා හදවතට ලේ මදිකමක් ඇතිවිය හැකිය. මින් මිය යෑමට පවා පිලිවන. සමහර හදවතේ ආබාධ ඇති අයට ද, සමහර වෙනත් බෙහෙත් සමග ගන්නා විට ද ඉතා ප්‍රවේසම් විය යුතියි. එනිසා වෙද මහතා ගේ අනුමැතිය නැතිව මෙම ඔසු ගැනීමෙන් වැලකිය යුතුයි.

ඇවැනෆිල් (Avanafil) නමැති මෙම ගනයට ම අයත් පෙති මෙම තත්ත්වය ගෙන නොදේ. නයිට්‍රොග්ලිසරින් ගන්නා අයට ඇවැනෆිල් භය නැතුව භාවිතා කල හැකි බව පවසයි. නමුත් මේ ගැන වෙද මහතා ගෙන් උපදෙස් ගත යුතුයි.

udenafil and mirodenafil ද මෙම වර්ගයේම නව සොයා ගත් ඔසු සමහරකි. මෙම ඉහත දැක්වූ ඔසු සියල්ල PDE5 නම් එනසයිමය නිෂේධක ලෙස හඳුනයි. මෙම එන්සයිමය ශිෂ්නය තුල ලේ නහර වල ඇත. මෙම ඔසු වලින් ලිංගික ආසාව ඇති නොකරයි. ඇතිවන ප්‍රානවත් බව පවත්වා ගැනීමට හා එහි තද හෝ ශක්තිමත් බව වැඩිකිරීමක් පමණකි.

මීට අමතරව මෙම රෝගයට යොදවා ගත හැකි තව ඔසු කිහිපයක් ගැන සඳහන් වේ. එරිත්රොපොයිටින් (Erythropoietin) හෝමොනය ද ඉහත සඳහන් බෙහෙත් සමග යොදවා ගත හැකිය. තවද MSH (Melanocyte Stimulating Hormone) නමැති හෝමෝනය මෙන් වැඩකරන බෙහෙත් වර්‍ගයක් ද සාර්තක ලෙස සමහරුනට යොදවා ගත හැකිය. Bremelanotide ලෙස හඳුනන ඔසු වර්ගයට අයත් වේ. මෙම හෝමෝන සබැඳි ඔසු ක්‍රියා කරනණුයේ වයැග්‍රා ඝනයේ ඔසු වලට වඩා වෙනස් විදියකටය. මොලයේ හයිපොතැලමස තුල මෙය වැඩකරන බව විශ්වාස කරයි.

සාමාන්‍ය තරුණයනට මෙම ඔසු අනවශ්‍යවේ. නමුත් සමහරුන ට අප්‍රානිකතාව තාවකාලික හෝ දිගටම පවතී නම්, අවස්ථාව සලකා භාවිතාවට ගත හැකිය. දියවැඩියාව ඇති අයට හා අධික රිධිර පිඩනයෙන් පෙලෙන අය ද මෙම ආබාධය ඇතිවීම ට අති ප්‍රවනාතාව වැඩියි. අධික රුධිර පීඩනය ට ගන්නා සමහර ඔසු නිසා ද මෙය ඇතිවිය හැකියි. සමහර සැත්කම් හේතුකොට ගෙන හෝ ස්‍නායු ආබාධ නිසා හෝ කොඳුනාරටියට හෝ ලේ නහර තුවාල වීම නිසා මෙම ලිංගික අප්‍රානිකතාව ඇතිවීම රෝගියා ට ගැටලුවක් වේ. මේ අයට ඉහත ප්‍රතිකාර සහ වෙනත් ප්‍රතිකාර යොදවා ගැනීමෙන් ලොකු මානසික සහනයක් ලබා දිය හැකිය. වයස යනවිට මෙය ගැටලුවක් වේ නම්, ඔවුනට ද උදව් කිරීමට පිලිවන. ශිෂ්නය ට කෙලින්ම විදින බෙහෙත්, සමහර කුඩා උපකරණ හා සැත්කම්, මෙම ඉහත කී ඔසු වලින් ගුණයක් නැති අයට ලබා දිය හැකි ප්‍රතිකාර සමහරකි.

Friday, August 28, 2009

ක්ලැමීඩියා ලිංගික රොගය විනිශ්චය කිරීමට සරල ක්‍රමයක්

ක්ලැමිඩියා (chlamydia) නමැති ලිංගිකව පැතිරෙන රෝගය, බැක්ටීරියා නිසා ඇතිවන බහුලතම ලිංගික රෝගයයි. රෝග ලක්සන කිසිවක් නොමැතිව මෙම රෝගය වැලඳෙන නිසා, එහි අතුරුපල විඳිනා තෙක්, එම රෝගය තමාට ඇති බව නොදත සිටිය හැකිය. ශ්‍රෝණිය හා සබද කුපිත රෝග, වඳබව, බහිෂිකේතනක ගර්භණීභාවය (ectopic pregnancy) ඇතිකිරිමට හැකි මෙම රෝගය, හඳුණාගැනීම තරමක් අපහසු කරුණක් විය. නමුත් ලඟදී, පිරිමින්ගේ මුත්‍රා පරීක්ෂණයකින් පහසුවෙන් සොයා ගත හැකි ක්‍රමයක් සොයාගෙන ඇත. පැයක් තුල ප්‍රතිපල ලබැ දිය හැකි මෙම පරීක්ෂණය ට විසෙසව තනන ලද බඳුනකට මුත්‍රා ටිකක් ලාබාදීමෙන් රෝග නිරීක්ෂණය නිම කිරීමට හැකි විය. මුලින් පිටවන මුත්‍රා වල මෙම බැක්ටීරියා වැඩි බැවින්, එම ලබා ගැනිමට විසෙස බඳුනක් යොදා ගන්නා ලදී. Chlamydia Rapid Test ලෙස හඳුන්වන මෙම නිරික්ෂණ ක්‍රමයේ සංදනීයතාව 82.5% හා නිශ්චිතතාව 98.5% වූහ.

Tuesday, August 18, 2009

මකුණා සහ මදුරුවා

ඇඳන් සහ පුටු වල වෙසෙන මකුණා ලොව පුරා පැතිර ඇත. උන් වඳ කිරීම අසීරු වන අතර, ඉක්මනින් පැතිරී යන බව පෙනයි. උන් හපාකන තැන් ඉදිමී කසන්නට පටන් ගනී. සමහරුන්ගේ ඇඟ පුරාම කසන්න ගනී. උන්ගෙන් රෝග පැතිරෙන නැති බව සතුටකට කරුනකි. අපේ ලේ බී වැඩෙන අනික් සතා වන මදුරුවා මෙන් නොව. මදුරුවා නිසා පැතිරෙන රෝග බොහෝ ය. ඒ බොහොමයක් මාරාන්තික විය හැකිය. මදුරුවාගේ චේතනාව ලේ බීම පමණි. ලෙඩ රෝග ඇතිකරන ජීවීන් ඌ යොදවා ගනී. ඌ ඒ අතින් අහිංසකයි.......!

Sunday, August 9, 2009

කෂය රෝගය හඳුනා ගැනීම ට නැනෝ තාක්ෂණය

කෂය රෝගය ලෙඩෙක් තුල සොයා ගැනීම ලේසි පහසු නොවේ. පෙනහැල්ලේ ඇතිවූ විට එය පහසුවෙන් බෝවේ. වමාරා ගන්න් කෙළ අන්වීක්ෂයකින් සෝදිසි කොට ඉන් පසුව, තවමත් සැක සහිත නම්, රසායනාගාරයක විශේෂ මාධ්‍යයක උන්‍ වැඩීමට සැලසිය යුතුවේ. මෙසේ හරියටම සැක රහිතව දැන ගැනීම ට සති කිපයක් ගතවිය හැකිය.

නමුත් හැවර්ඩ් වෙද විදුහලේ කෙනෙක්, නැනෝ තාක්ෂණය යොදවා, පැය හමාරකින් විනිශ්චය කල හැකි ක්‍රමයක් සොයාගෙන ඇත. රෝගියාගේ කෙළ සමග මෙම නැනෝ අංශු මිශ්‍ර කොට, එම මිශ්‍රනය විශේෂ පරිගනක චිප් එකක් යොදා "පෙරා" ගෙන, චුංබක ස්කැනරයකින් හදුනා ගනු ලැබේ. මෙම නැනෝ අංශු සමග කෂය රෝගයට ප්‍රතිශක්ති අංශු (antibodies) යකඩ අංශු සමග දවටා ඇත. එනිසා කෙළ සමග මිශ්‍ර කල වහාම, කෂය රෝග විශබීජ ඒ නැනෝ අංශු සමග බැඳෙයි.

පොත් ලිවීමට සුදුසු නිදහස් මෘදුකාංග




පොත් ලිවීමට පරිගනකයක් යොදවා ගන්නා අය දැන් වැඩියි. පරිගනක යොදා පොත් ලියන්න යන කෙනෙකුට යොදවා ගත හැකි නිදහස් මෘදුකාංග මොනවාද? ලොකු මුදලක් භාවිතා නොකර ලබා ගත හැකි නිසා ද, මෘදුකාංගය දියුණු කරන විට ඒ දේ බාගත හැකි වන නිසා ද, අප වැනි රටකට මෙම මෘදුකාංග සුදුසුයැ යි මා සිතනවා. සමහර අය ටෙක්ස්ට් එඩිටර් හෝ වර්ඩ් ප්‍රොසෙසර් වැනි මුදුකාංග මේ සඳහා යොදා ගත් නමුදු, පොත් ලිවවිමට මේවා එතරම් සුදුසු නැත.

පහසුවෙන් ඉගෙන ගෙන භාවිතා කල හැකිවීම ද වැදගත්. එනිසා මා සොයා බැලූවිට මේ සඳහා සුදුසුයැ යි සිතිය හැකි මුදුකාංග මෙන්න. ලිනක්ස් හා වින්ඩෝස් දෙකේම වැඩ කරනවා.

ස්ටෝරිබුක් http://storybook.intertec.ch/joomla/
ලික්ස් http://www.lyx.org/
ටෙක්ස්මැක්ස් http://www.texmacs.org/

ලික්ස් ඒ සදහා යෙදවීම ගැන http://www.linux.com/archive/feature/56471

ඔබ නාට්‍යයක් හෝ තිර රචනයක් ලියන්න ට අවශ්‍ය නම් සෙල්ට් x
http://celtx.com/

සිංහල හෝ දෙමල බසින් පොත් ලිවීමට මේවා යොදවා හැකිවන පරිදි සකස් කල හැකි නම් අගෙයි.

Monday, July 27, 2009

කෙල්ලක් ඔසවා ගත් පැවිද්දා

පැවිදි අය දෙදෙනෙක් දිනක් සක්මන් කරමින් යන විට, අවුරුදු දහසයක පමණ ලඳක්, ලස්සන දිග සුදු ගවුමක් සහ සුදු පාවහන් පැලැදගෙන පාරේ මඩ වගුරක් ලඟ සිටිණු දුටුහ. එක් පැවිද්දකු, ඇය ඔසවා ගෙන ගොස් මඩ සගුරට අනෙක් පැත්තෙන් තබා, දිගටම ඇවිදගෙන ගියා. පැයක් හමාරක් ගතවූ පසු, අනෙක් පැවිද්දා මෙසේ කියයි: "අර ගැහැනු ළමයා ඔසවාගෙන යෑම පැවිද්දකුට සුදුස වැඩක් නොවෙයි නේද?" සක්මන් භාවනාවේ යෙදෙමින් සිටි අනෙක් පැවිදි තැන මෙසේ පිලිතුරු දුන්නේය. " මා එම ළමයා බිම තබා දැන් ගොඩක් වෙලා. ඔබ නම් තවම ඇය ඔසවාගෙන යන බව දැන් නිසැකයි".

Tuesday, July 21, 2009

පූර්න අභ්‍යන්තර කෘත්‍රිම හදවතක්


ඇමෙරිකාවේ නිව් ජර්සි නගරයේ, මෙම හදවත, ශල්‍යකර්මයකින් වයස අවුරුදු 76 ක රෝගියෙකු ට සවි කරන ලදී. මෙම වසර ජූනි මස වූ මෙම වැදගත් සිදුවීම, සාර්ථක ලෙස නිම වීම කාටත් වැදගත් වනු ඇත. මීට පෙර යොදවන ලද කෘත්‍රිම හදවත් සවි කල ලෙඩුනට, බැටරිය සහ වෙන බොහෝ දේ සිරුරට පිටින් සවි කිරීමට අවශ්‍ය විය. ටයිටේනියම් සහ ප්‍ලාස්ටික් වලින් තනා ඇති මෙම හදවත AbioCor Total Replacement Heart ලෙස නම් කර ඇත.

Monday, June 15, 2009

මිනිස් සිරුර දිහා බලමු


මිනිස් සිරුර කුණු වී දිරාපත් වීම වලකා ගත හැකි නව ක්‍රමයක් වන "පලාස්ටීකරනය" යොදවා ගෙන කරන ප්‍රදර්ශනයකි - Body Worlds. මෙම මිනී සකසා ගන්නා ක්‍රමය සොයා ගත්තේ 1978 දී ගුන්තර් ෆොන් හේගනස් නම් ජර්මන් ජාතිකයෙකු විසිනි. (Gunther von Hagens of the University of Heidelberg, Germany).

http://www.youtube.com/watch?v=gg7FuKqKY4E

මගේ රට? අපේ රට?

මට මතකයි, අවුරුදු කිහිපයකට පෙර, මා ගොවි මහතෙක් සමග කතාව ට වැටුන. "අපේ රට" කියමින් මා කිව් දෙයක් අසා ඔහු කීව: " මහත්තයො, රට අපට අයිති නෑ. අපි රටට අයිති!"

Thursday, June 11, 2009

PTSD - සිත කම්පනයෙන් මනසේ ලියැවුනු සටහන්

යුධ බිමෙහි ඇතිවන බියසුරු දේ හේතු කොටගෙන, මානසික පීඩාව නිසා ඇතිවන ආබාධය, ඉංගිරිසි භසින් Post-traumatic Stress Disorder හෙවත් කෙටියෙන් PTSD ලෙස හඳුන්වනු ලැබේ.

සටන අවසන් වුවද, සටනට සබදවූ අයට, මතකය තුල එය සදහට පැවතිය හැකිය. PTSD ඇති අයට සාමාන්‍ය ජීවිතයකට එකතුවීමට පවා බැරිවී යා හැකියි. තම පවුල, සහෝදරයන්, සමාජය තුලට එක්වීමට නොහැකි තරමට ආබාධ විය හැකිවේ. යුධබිම වූ නොයෙක් කුරුර අවස්ථා නැවත, නැවත පෙන්වන චිත්‍රපට ජවනිකාවක් මෙන් ඔවුනට පෙනෙන්නට පිළිවන. එහි ඇසුනු ශබ්ධ නැවත ශ්‍රවනයට නැගේ. එවිට ඔවුනට ඇතිවනුයේ ඉතා තාත්ත්වික නැවත රඟපෑපකි. සමහර දේ ඇසුනු විගස, දුටු විගස, ඉවකල විගස, ස්පර්සය කල විගස ඔවුනට බියසුරු ජවනිකාවක් ඇරඹේ. මෙවිට ඔවුනට තමා සිටින තැන හෝ අවස්ථාව හෝ අමතක වී, අමුතු හැසිරීමක් දැකිවිය හැකිය. වටපිටාවේ සිටින අයට තර්ජනයක් විය හැකිය. තමනට තර්ජනයක් වීම ට පිලිවන. තවත් සමහර විට ඔවුන් කෑගසමින් දුවගොස් සැඟවිමට පිලිවන.

කුඩා ළමුන් තම වටපිටාව හෝ තමා ලඟ සිටින අය නොදන්නා සේ බලා සිටී. එකවර අඩන්නට පටන් ගනී. . බොහෝ ළමුන් කතා නොකර ජීවත් විය හැකිය. පාසැල ට යන්න බිය වේ. ගෙදරින් පිට යෑමට අකමැති වනවා පමනක් නොව, පණ භයින් කෑ ගහන්නට පිළිවණ. අනෙක් ලමුන් සමග සෙල්ලම් කිරීමට නොයයි. බියසුලු සිහින දකින නිසා නිදන්නට පවා අකමැතියි.

මෙම ආබාධය, සාමාන්‍ය මානසික ආබාධයක ට වෙනස් බව දැන් හෙළිවී ඇත. සාමාන්‍ය බිය ඇතිකරන අබාධ මෙන් සුව කල නොහැක. එම ආබාධ සුව කිරීමට යොදවන ක්‍රම වලංගු නැත. මිට හේතු සොයන අය සිතන්නේ ඔවුන්ගේ මොලයේ යම් වෙනස්කම් ඇතිවන බවයි. එම වෙනස්වීම් සහ මනසේ ඇතිවූ වෙනස් වීම් එකතුවී මෙම ආබාධය, සමහරුන්ගෙන්, සුව කිරීමට ඉතා අපහසු වන බවයි. ජීවතය පවතින කල් නොමැකෙන කැලලක් ඔවුන් තුල ඇතිවූ බවයි.

මොලයේ ඇමිග්ඩලා (amygdala) සහ හිපොකැම්පසය (hippocampus) යන කොටස්වල ද vmPFC (Ventero medial Prefrontal Cortex) නමැති මොලයේ තවත් කොටසක් මෙම ආබාධය හා සබද බව විශ්වාෂ කරනු ලැබේ.

මෙම ආබාධයට නොයෙක් බෙහෙත් වර්‍ග භාවිතා වුවද, නොයෙක් මනෝ වෙදකම් යෙදවුව ද, සදහට සුව කිරීම අපහසු කරුනක් විය හැකිය. සමහරු "සුව වී" යැයි සිතුවද, මාස හෝ අවුරුදු කීපයකට පසු හදිසියේම යම් අවස්ථාවක් හේතු කොටගෙන, එම ආබාධය නැවත ඇතිවිය හැකිය. එම ඔවුන් සිත තුල සඟවාගත් සිදුවීම ගැන නිදැල්ලේ කතා කිරීමට ඉඩදීම, විපස්සනා භාවනාව වැනි ක්‍රම සමහරුනට බොහෝසේ සහනයක් ගෙන දී ඇති බව සඳහන් වේ. පවුලේ අය, පුජක තුමන්, පාසල් ගුරුවරුන්, පලාතේ වෙදුන් ද මේ ගැන දැනුවත් කිරීම වැදගත්. මෙම රෝගීන ට, තනිව හෝ සමූහයක් ලෙස හෝ ගෙන, මානසික වෙද ක්‍රම යොදවා සහනයක් හෝ සුවයක් ලබා ගැනිම ට උත්සහ කල යුතුයි. විසෙස් වෙදුන් ගේ මූලිකත්වය ඇවැසි වේ.

PTSD ඇතිවීමට යුධබිමට ත් වඩා බහුල හේතුවක් වනුයේ රථවාහන අනතුරු බව මතක තබා ගත යුතුයි. ලිංගික දූශන, ගෙවල ඇතිවන මිනීමැරුම්, ප්‍රචන්ඩ ක්‍රියා තවත් වැදගත් හේතු වේ.