Monday, June 30, 2008

සීල් මත්ස්‍යයන් මිලියනයකට වඩා මරන්න ගියේ අවුරුදු 3 යි!



කැනඩාවේ සහ නෝවේ රටවල අය, අලුත් සෙල්ලමක් පටන් ගෙන අවුරුදු කීපයක් වෙනව. "සීල් කිල්". උන් මරන්නෙ පොලුවලින් ගහල, කොකු සහිත පොලුවලින්. කොටසක් පනපිටින් හම ගහනව. පැටව මරන්නෙ අම්ම ඉදිරිපිට.

පැටව් බේරා ගන්න එන අම්මට, වද දීලයි මරන්නෙ. මෙවැනි දෙයක් අවුරුදු ගනනක් කරගෙන යන්න මේ මිනිසුන්ට ඉඩ දෙන්නෙ කවුද?

හැකපික් නම් ආයුධය පොල්ලකට සවි කල යකඩ කොක්කක්. මෙය සුදුසුම "උපකරණය" ලෙස පිලිගෙන තිබේ. මේ වසරේ නැමීබියාව ද මේ කිරි බී වැඩෙන සතුන් 86,000 ක්, පැටවුන් විශේෂයෙන් තෝරා, මරනු ඇත.

මෙම මරන ක්‍රමය ඉතා කරුණාවන්ත ක්‍රමයක් යැයි නැමීබියා ඇණ්ඩුව කියයි! මස්, හම ප්‍රයෝජනයට ගනු ලැබේ. අනික උන් මත්ස්‍යයන් ටොන් ගානෙ කන්නෙ. "අපේ කෑම උන් කා දානව" යැයි ධීවර ඇමති පවසයි.

එතකොට උන් කන්නෙ මොනවද? කුරුල්ලො අපේ පලතුරු කනව. උන් මරා දමමු. මී මැසිසො අපේ පැනි බොනව, උන්වත් මරා දමමු!

ඔන්න ඕකයි වැඩේ. නවත්තන්න බෑ. මේව කරන්නෙ රටවල ආණිඩුවේ අනුග්‍රහය ඇතුවයි.......

Sunday, June 29, 2008

සජීවි තුරුදැල සහ ෆොස් විකිය - තොරතුරු එකතුවක්



මෙම වෙබ් අඩවි දෙකේම අයිතිකරු සහ කතු විලියම්‍ ස්ටුවර්ට් (William Stewart) . ඔහු මෙසේ කියයි:
ඔහු FreeOpenSourceSoftware.* වෙබ් අඩවි වල අයිතිකරු වීමට වාසනාව දරණ අතර, ඔහු මෙම ෆොස් විකිය විවෘත මෘදුකාංග යොදවන සමාජයට පුද කරන වගත්, එය ඔබ සැමගේ සහයෝගය තුලින් වැඩී, සැමට දැණුම බෙදා හෙදා ගන්න හැකි වේවායි පතයි. මේ ගැන සැමට දන්නන්නැ යි ඉල්ලා සිටිනවා.

Friday, June 27, 2008

පිලිකාව සමග සටන පැතිරී ලොවම යුධ බිමක් බවට පත්වේවා!

පිලිකාව මිනිස් රෝග අතර නපුරුම රෝගය බව බොහෝ අයගේ මතයයි. ජනගහනය වැඩිවෙමින් පවතින ගමන්, වයස වැඩි, මහලු යයි කිව හැකි ජනකොටස ද එලෙසම වැඩිවේ. පිලිකා බහුල වැඩි වයස් උදවියගේ බැවින්, නුදුරු අනාගතය, පිලිකාව හා අප අතර සටනක් වන බවත්, එම සටනට ලෑස්ති නොවුවොත් දුක් විඳමින් මැරෙන මෙම රෝගයට ගොදුරු වීමට සිදුවන බවත්, නිසැකයි.

මෙම රෝගය පිලිබඳ දැණුම ටිකින් ටික වැඩි වෙමින් පවතිනව. එම දැණුම අපේ ලොකුම ආයුධයයි. මෙම දත්තය සුව සයුර තුලින් විස්තර කිරීමට බලාපොරොත්තු වන අතර, මෙම රෝගය ගැන දන්නා මූලික කරුණු කෙටියෙන් සලකා බලමු.

පිලිකාව ඇතිවීමට හේතු ප්‍රධාන වශයෙන් දෙකකි.

1. උප්පත්තියෙන්ම ඇති ප්‍රවනතාවක් - බොහෝවිට ජානතුල ඇති දෝශ. මේ අයට මව් කුස තුලම හෝ උපන් පළමු වසර තුල හෝ කුඩා කල පිලිකා ඇතිවීමට පුලුවනි. තවත් සමහරුනගේ, අවුරුදු 20-30 පසු පිලිකාව මතුවිය හැකිවේ.

2. පරිසරයේ අහිතකර බලපෑම් හේතුකොට පිලිකා ඇතිවීමට පුලුවන. උදාහරනයකට දුම් බීම නිසා පිලිකා කීපයක් ඇතිවිය හැකි බව. මේ අයගේ සිරුර තුලද යම් ජාන වල දෝශ මුල්පත් කරගෙන, දුම් බීමේදී සිරුරට ඇතුලුවන අකිතකර දෙයට මෙසේ ප්‍රතිචාර දක්වන බව ද සිතිය හැකි වේ. එනම් ඔවුන් තුල යම් "දුර්වලතාවක්" මුලසිටම තිබූ වගයි.


පිලිකාවක මූලික ලක්ෂන මොනවාද?

සිරුරේ ඕනෑම පටකයකින් හටගත හැකිවේ. ඕනෑම වයසක පිලිකාවට ගොදුරු වීමට පුලුවන. පිරිමි, ගැහැනු වෙනසක් නැත. වැඩිපුර හටගන්නේ වයස 60 ට වැඩි අයගේය.

පිලිකා ශෛල, පාලනයක් නොමැතිව වැඩේ. සීග්‍රව වැඩේ. පටක මායිම් ගැන නොසලකයි. පටන් ගත් පටකයෙන් බැහැරව ගොස් වෙන පටක තුල වැඩීමට හැකියාවක් ඇත. පටක වැඩීමේ දී පිලිපදින නීති රීති නොසලකා, මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් සේ හැසිරේ!


දැනට වෛද්‍යවරුන් අතට ගත් ආයුධ කවරේද?
1. කපා දැමීම - ශල්‍යකර්මය
2. පිලිස්සීම - විකිරන යොදවා
3. වස දීම - බෙහෙත් හා රසායනික ද්‍රව්‍ය යොදවා
4. පිලිකාවට අවශ්‍ය පරිසරය වෙනස් කිරීම - උදාහරනයක් ලෙස හෝමෝන අඩු වැඩි කිරීමෙන්
5. සිරුර තුල ඇති, අප සැමට ආවේනික වූ , යුධ හමුදාව යෙදවීම - ප්‍රතිශක්තිය


මේ යුද බිමෙන් සුබදායක පුවත් බලාපොරොත්තු වෙමු. අනාගත යුද්ධය හොඳ පැත්තට යන ලෙස පතමු.......

Thursday, June 26, 2008

ඉස්ගෙඩියා ඔලුගෙඩියට ආවෙ නෑ නොවැ!


අප ලොව "දියුණු" කිරීමේදී අනික් සතුන් ගැන සිතන්නේ නෑ නොවැ. ගෙම්‍බො ගැන හිතුවෙත් නෑ....

මෙලොවින් ඉස්ගෙඩියන් (එමනිසා ගෙම්බො) සීග්‍රව තුරන් වෙන බවට සලකුනු කාලයක් සිට තිබුන. විශේෂයෙන් "දියුණු" රටවල. කවුරුවත් දන්නෙ නෑ ඇයි කියල. උන් නොයෙක් විකෘති වේශයන් ගෙන් වර්ධනය වෙන්න පටන් ගත්ත. කවුරුවත් දන්නෙ නෑ ඇයි කියල. ගෙමිබව් මිනිසුන් තම පර්යේශන වලට භාවිතා කරන නිසා, සමහරු උන් අල්ලාගෙන පර්යේශනාගාර වලට විකුනල ජීවත් වෙනව. ප්‍රංශයේ අය උන්ගෙ පිටිපසු ගාත දෙක කපල උයන් කනව. කුඩා වතුර ජලාස වල ජීවන චක්‍රයට උන් හරිම වැදගත් කියල ජීව විද්‍යාව හදාරන අය කියනව. සමහර විට අපේ ජීවිතයටත් උන් වැදගත් වීමට පුලුවනි.


අනික, උන් හරි අහිංසක සතුන් - අපේ පැත්තෙන් බලන කොට. මිනිසාට බෝවන කිසිම රෝගයක්, දන්න හැටියට, ගෙම්බ ගෙන් හැදෙන්නෙ නෑ. හපා කන්නෙත් නෑ. ඉඳල හිටල නොදැණුවත් කමට ඇඟට පනිනවනම් තමයි!

මිනිසා හේතුකොට ගෙන ඌ නැති වෙනවද? අප අතින් පරිසරයට කෙරෙන හානිය ඉමහත් නෙ. මොනව කරනවද, මොනව වෙනවද කියල අප දන්නෙත් නෑ. කොහොම හරි අප කරන දෙයින් උන් මෙලොවින් සදහටම නැතිවී යන්න පුලුවනි. මොනව කරන්නද?

2008 වසර ගෙම්බාගේ වසර Year of the Frog ලෙස හැඳින්වෙන්නේ බොහෝ රටවල අය මේ සතුන්ගේ අනාගතය ගැන සැකයක් ඇතිවීම නිසයි.

උන්ගෙ පිංතූරු තියා ගන්න එක දැන් ටිකක් වැදගත් වෙනව. මං හරි ආසයි උන්ගෙ හඩට. වෙලක් දොලක් ලඟ හවසට ඉඳගෙන ඉන්න කොට, පාලුව මකන්න ඒ ශබ්දය යටිතලයක් වෙනව. නුදුරු අනාගතයේ එය නිහඩ වෙයිද? එසේ වූවිට හඩන්නේ වෙල දොල පමණද?

Tuesday, June 24, 2008

කුරුලු අදහස්

පුනරුප්පත්තිය පිලිගෙන වියවස්ථාවට ඇතුල් කලොත්...

පුනරුප්පත්තිය ගැන අදහසක් අප අතර තිබුනත්, සමහර ආගම් වලින්ද සත්‍යයක් ලෙස දෙසුවත්, එය සත්‍යයක් ලෙස සාමාන්‍ය ජීවිතයට හා ආණ්ඩු ක්‍රමයට යොදවා ගන්නා බවක් නොපෙනේ. එසේ නොකිරීම රටටත්, සමාජයටත්, ජාත්‍යන්තර සබදකම් වලටත්, සතුන්ගේ ජීවනයට හා ආරක්ෂාවටත් අසාදාරනයකි.

මෙම අදහස බහුල ලෙස පැතිර ගියහොත් රටක් තුල ලොකු වෙනසක් ඇතිවනු බව නියතයි. මේ ගැන මදක් සිතමු. අපි එක් එක් ආත්ම වල නොයෙක් රටවල උප්පත්තිය ලැබෙන බව ඇත්තටම තේරුම් ගත් විට රටවල් අතර ගැටම් අඩුවෙනව. "පිට රට" කියල හිතන එක වැරදි බව තේරෙනව!

මිනිසුන් පමනක් නොව, දේව, භූත, පේත, සත්ව යන සෑම ජීවීන් ගැන එකවිට සැලකිමට සිදුවේ. ඇයි? සමහර විට ඔවුන් මිනිස් ලොව ඉපදිය හැකි නිසයි. එපමණක් නොව, අප එලොව ඉපදිය හැකි නිසයි. එමනිසා ඒ හැම ලොවේම අය සමග සුහද ලෙස ජීවත් වීම හා ඔවුන්ගේ සතුට ගැන අවදානය අප තුල පිහිටිය යුතුය. ඔවුනට අදාල පින්කම් ආදිය පුද්ගලිකව පමණක් නොව, ආණ්ඩුවේ සහාය ඇතුව ද කල යුතුය. එමෙන්ම, සතුන් ගැන නීති පැනවීමේදී එය, පුද්ගලිකව සිතා එසේ කල යුතු. උදාහරණයකට තමා අලියෙක් වී ඉපදිය හැකියැ යි සිතා, අලින්ගේ සුවසිද්දිය ගැන සිතා මතා සුදුසු නීති මාලා හරහා වැඩ පිලිවෙලක් ක්‍රියාකිරීමට සිදුවේ.

මිනිසුන් කරන කුසල් හා අකුසල් කර්ම සුදුසු ලෙස ලියා පදිංචි කිරීමෙන්, අනාගතයේ ඇතිවිය හැකි කර්ම විපාක ගැන යම්විදියක තක්සේරුවක් කිරීම මැනවි. නැවත මිනිස් ආත්මයක් ලිබීමේ ප්‍රවනතාව ගණනය කිරීමට ක්‍රම සහ විධි ගැන ආචාර්යවරුන් වෙහෙස වනු ඇත.

අංග විකල ළමයි බිහි වූ විට ඊට හේතුව පෙර කර්ම නිසා යැයි පැහැදිලිව තේරුම් ගෙන, ඉන් ඉහත ආත්ම වල එසේ නොවිමට, එම ළමයා හැකි තරම් පින්වන්තව ජීවත් වීමේ වැදකත්කම ඔහුට පසුව දැනිවිය යුතුවේ. ඔහුට ඒ පින් කරගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දීම, ආණ්ඩුව විසින් පත්කරන විශේෂ මණිඩලයක් හරහා කෙරෙනු ඇත. එවැන්නෙකුට උදවු කිරීමෙන්, උදවු කරන අයට එසේ ඉපදීම වැලකිය හැකි වේ.

වැඩිහිටි මහලු අය සමාජයට වැඩක් නැති අය ලෙස නොව, අනාගත පරපුර ලෙස සැලකෙනු ඇත. ඔවුන් නොසලකා හැරියොතින්, නැවත ඉපදුනු ඔවුන්, ඒ අයට ද එසේම සැලකිය හැකියි. ඔවුන් ළමයින් ලෙස උපත ලබා, අර නපුරු අයට බොහෝ වද දුක දීමට පෙලඹීමට ඉඩ තිබේ. මෙලෙස සිතන දැන් තරුණ අය, වයසක උදවියට මීට වඩා සැලකීමට පුලුවන. දේශපාලනය කරණ අය, අවුරුදු 5ක සැලැසුම් නොව 100යක සැලසුම් ද ලිවීමට සිතන්නට පටන් ගනියි. ඇයි, ඔවුන් ඊලඟ ආත්මයේදිත් මෙරටම උපන්නොත් එහෙම, කියල සිතන නිසා. තමාගේ ළමයින්ගේ අනාගතය පමණක් නොව, තමාගේ අනාගතයට ද සිත යොමු කරන්න වෙනව. නොයෙක් රටවල්‍ අතර ගිවිසුම් සාදා එකිනෙකා යම් තත්ත්වයකට ගෙන ඒමට වඩාත් මහන්සි වනුයේ, අනික, තමාගේ අනාගත රට විය හැකි බව දන්නා හෙයිනි.

සත්වයින් දිහා බලන විට, කිසිම සතෙක් මරා දැමීම හෝ මරා මස් කැම නිති විරෝදී වනු ඇත. මිනිසෙක් මරාගෙන කෑමක් සේම දරුණු වරදක් ලෙස සලකන්න වෙනව. කැටපෝලයෙන් විද මරන ලේනා, තමාගේම මැරුණු පියා විය හැක, තමා අනුබව කරන්නේ කුඩා කල නැතිවුනු තම සහෝදරයා විය හැකියි.

සිසුන් සහ දෙගුරුන් අතර ඉතාම සුහද සබදතාවක් ගොඩනැගෙන්නේ, ඔවුන් මාරිවෙන් මාරුවට සිසුන් හා ගුරුවරුන් වන බව වැටහීමෙනි. සංගමයක උසස්ම නිලධාරියා, පහළම කෙනාට හොඳින් සලකන්නේ, ඔහු පසු ඇත්මයක, එතනම, අර වගේ පහල රැකියාවකින් පටන් ගත්තොත් කියල හිතන නිසයි.


මිනිසුන් නිහතමානී විමටද මෙම සංකල්පය බෙහෙවින්ම පිහිටවෙනව. මරණය ගැන සැමවිට සිතනව. උපත සහ මරණය අතර කාලය, සංසාරයේ එක් කොටසක් බව දන්නාවිට, මරණය ගැන බය අඩුවෙනව. සංසාර ගමණ නවත්තන්න හිතෙනව - නැතිනම් ආයිත් බබෙක් වෙන්න ඕනැ, පාසැල් යන්න ඕනැ, විභාග කරන්න ඕනෙ නේද?


සසරෙන් එතර වීමට ආණිඩුවෙන් සම්පූර්ණ අනුග්‍රහය දැක්වෙනව. ඔබට අවශ්‍ය වන භාවනාව ඉගෙනීම, එම කිරීමට අවශ්‍ය තැන්, ආහාර යනාදිය ලභා දෙනව. ඒ අය සමාජයට විශිෂ්ට සේවයක් කරන බව ආණ්ඩුව සලකනව.


මොකද ඔබ සිතන්නෙ මේ අදහස ගැන? ඔබ සියුම් සිනහවකින් මෙය කියවූ යැයි සිතමි!

Monday, June 23, 2008

කැපිලි, මැහිලි අඩු හෝ කොහෙත්ම නැති ශල්‍යකර්ම

බොහෝ ශල්‍යකර්ම උදරය තුල කරන ඒවා වන බැවින්, බඩ කපා පසුව මහන්න වෙනව. ඒ අවස්ථාවේ සිහිය නැති නිසා රිදුමක් නෑ. නමුත් මේකයි වෙන්නෙ. පසුව සිරැර මෙහෙයවන විට, රිදෙනව. සමහර අයගේ තුවාලය ආපහු විවෘත වන්න පුලුවන්, දින හතත් දහයත් අතර. තවත් සමහරවිට මාස කීපයකට පසුව "හර්නියා" අමාරුව ඇතිවන්න පුලුවන්. එහිදී වෙන්නේ හමට යටින් පේශි දුර්වල වීමයි. රෝගියා වෛද්‍ය උපදෙස් නොසලකා, තුවාලය හරිහැටි සුවවීමට පෙර, බර වැඩ වල නිරත වුවහොත්, උදරය තුල පීඩනය වැඩිවන විට, ඇතුලෙ බඩවැල් ආදිය ඒ උදර කුහරයේ දුර්වලතාව හරහා තෙරපී එලියට තල්ලු වෙනව. ලොකු බඩක් තියෙනව වගේ පෙනෙන්නෙ. තවද, බඩවැල් එම කුහරය තුල හිරවූවොත්, ජීවිතයට පවා හානි විය හැකි වෙනවා. ඇග වෙහෙසිල වැඩ කරන මිනිසුනට මෙහෙම වීමට ඇති අවස්ථාව වැඩියි. ඔවුනට මාස තුන හතරක් වැඩ නොකර ඉන්න වෙනව, තුවාලෙ හොද වෙනකන්. දුප්පත් අයට මෙය අසීරු වැඩක්. එනිසා ඔවුන්, බොහෝවිට, වෛද්‍ය අදහස් නොතකා, හැකි ඉක්මනින් තම රැකියාවට නැවත නිරත වනව.


ඇත්තටම, මෙසේ බඩේ ලොකු කැපුමක් නොකර මේක කරන්න පුලුවන් නම්‍ අපූරුයි නේද? ඉක්මනට ගෙදර යන්න පුලුවන්, රැකියාවට යන්නත් පුලුවන්, බර වැඩ කිරීමටත් මාසයකට වැඩිය ඉන්න ඕනෑ නෑ. ඔව් දැන් එසේ කරන්න පුලුවන්. කෙටියෙන් කියතොත්, ක්‍රම දෙකක් තිබෙනව. ඉංග්‍රීසියෙන් ලැපරොස්කොපි (laparoscopy) හා එන්ඩොස්කොපි (endoscopy) ලෙස නම දරන ශල්‍ය කර්ම තාක්ෂන දෙකයි මේ.

වකුගඩුවක ගලක් ඉවත් කිරීමට කුඩා සිදුරකින් අපකරණ යොදා ගල කුඩු කරමින් ඉවත් කර දැමීම

ස්වාභාවික සිදුරක් හරහා ගොස් ශල්‍යකර්මයක් කිරීම

මේ පුරස්ථ ග්‍රන්තිය ඉදිමීම නිසා ඇතිවන මුත්‍රා අඩස්සිය සුව කිරීමට කරන ලද්දකි.
මෙන්න එම ක්‍රමය ශල්‍ය වෛද්‍යවරුගේ ඇසින් පෙනෙන අයුරු

මෙම ක්‍රමය TURP ලෙස හඳුන්වනවා. එහිදී විද්‍යුත් ශක්තිය යොදවමින් පටක කපා ඉවත් කරනව. ලේසර් යොදා ආලෝක ශක්තිය භාවිතයෙන්ද, අල්ට්‍රාසවුන්ඩ් (අධික ශබ්ද තරංග ) ක්‍රමයේ පටක ඉවත් කිරීමට ශබ්දය ශක්තිය ලෙස යෙදේ, ගුවන් තරංග (radio-frequency waves) මේ සඳහා යෙදවිය හැකියි.

එනම්‍ මෙම ක්‍රම වලදී අවශ්‍ය
  • පටක කැපීමට හෝ විනාශ කිරිමට ශක්ති ප්‍රභවයක්
  • සියුම් සිරුර ඇතුල බලන්න පුලුවන් කාච හෝ වීදුරු කෙඳි හෝ ඉලෙක්ට්‍රොනික විඩියෝ ක්‍රමයක්
  • සියුම් අපකරණ
  • අපකරණ ඇතුලටත් පිටතටත් පහසුවෙන් එහා මෙහා කල හැකි කොපු (sheath)
ලැපරොස්කොපි ක්‍රමයට පිත්බොක්ක ඉවත් කරණ හැටි

මෙහිදී උදර කුහරයේ කුඩා සිදුරු තුලින් සියුම් උපකරණ බඩ තුලට යවා රෝගී පිත් බොක්ක ඉවත් කෙරේ.
මෙම ක්‍රමයට උදර කුහරයේ සෑම අවයවයකම ශල්‍යකර්ම කිරීමට පුලුවන. ගර්භාෂය, ඩිම්බ කෝෂ, පැලෝපියන් බට වැනි අවයව වලද එසේම කල හැකියි.

ඔටිසම් Autism ළමා රෝගය



මෙම වචනය ග්‍රීක "ඕටොස්" නම් "තමා" යන අරුතය ඇති වචනයෙන් ඇතිවන්නකි. මෙම රෝගය ඇත්තන්, තමා ගැන පමණක් සිතන බවත්, අනුන් ගැන කිසිම සැලකිල්ලක් නැති බවත්, එවිට විශ්වාස කල බැවින්, එසේ නම් කෙරිණ.

කුඩා ළමුනට ඇතිවන මෙම රෝගය, ඉන්පසු දිගටම වැඩිහිටි කලට පවතී. සුවයක් තවම සොයාගන නැත. එය, කලින් සිතුවාට වඩා බහුල රෝගයක් කියා දැන් කියනවා. ලොව පුරාම එකලෙසම පවතිනව. සෑම ළමුන් 150 කින් කෙනෙකුට මේ රෝගය තිබෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. මෙහි ඇත්ත නැත්ත කෙසේ වුවද එම රෝගය සෑහෙන්න බහුල බව පෙනීයයි.

මෙම රෝගය, රෝග සංකිර්ණයකට අයත් බව දැන් පිලිගැණේ. ඕටිසම් රෝග/ආබාධ සංකීර්ණය Autism Spectrum Disorder (ASD) අතරට මෙම රෝග හතරත් ඇතුලුවනව.

  • Asperger Syndrome ඇසිපගර් සින්ඩ්‍රෝමය (සින්ඩ්‍රෝමය යනු රෝග ලක්ෂන කිහිපයක සංයෝගයකින් හඳුනා ගන්නා රෝගයකි)
  • Rett Syndrome රෙට් සින්ඩ්‍රෝමය
  • PDD NOS (Pervasive Developmental Disorder) පැතිරෙන වර්ධනයේ ආබාධය
  • Childhood Disintegrative Disorder. ළමා භේදනකාරී ආබාධය

මෙම රෝග සියල්ලටම පොදු ලක්ෂනයක් නම් සමාජයේ හැසිරීම හා අදහස් ප්‍රකාශ කිරීමේ අධික දුර්වලතා සහ යම් දෙයක් නොනවත්වා යලි යලි කිරීම වැනි හැසිරිමයි. තවද පිරිමි ළමුන් අතර, ගැහඇනු ලමුනට වඩා සතර ගුණයක් බහුල වේ.

කුඩා අවදියේදීම මෙම රෝගය හඳුනා ගැනිම, ඔවුනගේ සාත්තු කිරීමටත්, උපරිම ලෙස හැකියාවන් දියුණු කිරීමටත් වැදගත් වේ. නමුත් රෝගය දැනගැනීම අපහසු කාර්යයක් වනු ඇත. බොහොවිට ළමයාගේ "අමුත්තක්" ඇතිබව මුලින්ම තේරෙන්නේ දෙමවයපියනට හෝ ඔවුනගේ ද දෙමවයපියනටය. මෙසේ සිතු වහාම ළමා රෝග කෙරෙහි විශේෂ වෛද්‍ය
වරයකු හමුවීම මැනවි.

පහත දක්වන ලක්ෂන ඔබේ අවදානයට ලක්විය යුතුය.

  • මාස 6ක් වන විට ළදරුවා සිනා නොවේ, ආදරය, උණුසුම ඔහුගෙන් අපට ආපසු නොලැබේ.
  • මාස 9කදී දෙමව්පියන් සමග සිනා, ශබ්ද උච්චාරනය, මුහුනේ තවත් නොයෙකුත් පෙනුම් නොදක්වයි
  • 12 මසක් වී ද කතා කිරීමට උත්සාහයක් නොදැක්වීම, තමාගේ නමට ප්‍රතිචාරයක් නොදැක්වීම හා අත වැනීම, යමක් අතින් ඇල්ලීමට තැත් කිරීම, ඇඟිල්ල දික්කර යමක් පෙන්වීම, අතේ තිබෙන දෙයක් ඔසවා ඔබට පෙන්වීම වැනි දේ නොකිරිම
  • මාස 16 කදී එකම වචනයක්වත් කතා නොකිරීම
  • මාස 24 කදී වචන දෙකක් වත් එකතු අර්ථවත් යම් දෙයක් (නැවත නැවත වචන කීම හෝ අප කියනදේ ආපසු කීමෙන් හැර) කීමට බැරි වීම
  • ඇත්ත වශයෙන් කිසිම විදියක කතාවක් නොකරයි නම් හො සමාජයේ ගැවසීමට කිසිසේත් බැරි නම්

ඇසට ඇස නොබැලීම ද බොහෝවිට දකින්න ලැබෙන ලක්ෂනයකි.

මෙම රෝගයට හේතුව තවම නොදනී. සමහරු, එන්නත් දීමනිසා මෙය ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවූ නමුදු, ලෝක සෞඛ්‍ය සංගමය (WHO) සහ ඇමරිකාවේ සුප්‍රසිද්ධ රෝග පාලන මධ්‍යස්ථානය (CDC) මෙම අදහස සම්පූර්ණයෙන්ම හෙලා දකියි.

පර්යේෂන කිහිපයක්ම ලොව පුරාම කෙරීගෙන යමින් පවතී. සමහර දත්තයන් මින් ලැබී ඇත. සමහර ජාන වල වෙනස්කම් ඇතිබව ද, ඔවුනගේ හිස්කබල අනික් ලමුනට වඩා සීග්‍රයෙන් වැඩිය හාකි බව ද, මොලයේ වෙනස් කොටස් අතර සබදකම් දුර්වල බවත්, මොලයේ සමහර ස්නායු අතර (synapse) පණිවිඩ හුවමාරුව දුර්වල බවත් සොයාගෙන ඇත. රිස්පිරිඩෝන් නමි බෙහෙතක් එම රෝගයේ පාලනය සඳහා දැනට යොදවා ඇත.

මීට අමතරව, පරිසරය මෙම රෝගයට බලපෑමක් දන්වන්නේද යන්න පර්යේශනයට භාජනය වී ඇත. සමහර රසායනික ද්‍රව්‍ය මෙම රොගය ඇතිකිරීමට හවුල්විය හැකි බවට සැකයක් තිබේ. රසදිය මින් එක් ද්‍රව්‍යයකි.
මෙම රෝගය සමාජයට ලොකු බරක් වන අතර, වසරකට මේ සඳහා ඇමෙරිකාණු ඩොලර් බිලියන 35 ක් පමණ වියදමක් දරන්න වන බවද හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශය ප්‍රකාශ කරයි.

මෙවැනි ළමෙක් හැසිරෙන හැටි බලන්න

එම හැසිරිම ගැන ඔබට අමුත්තක් තේරෙනවද?

මෙම රෝග ලක්ෂන ගැන තව තොරතුරු ඉංග්‍රීසියෙන් මෙම වෙබ් අඩවියෙන් දැනුමක් ලබා ගත හැකිවේ.

විඩියෝ කීපයක් බලා ගත හැකි තැනක් (ෆයර්ෆොකස් වලින් නැරභිය නොහැක)


මෙම විඩියෝ බලා ගැනිමට තමාගේ විද්‍යුත් ලිපිණය සමග ලියා පදිංචි විය යුතුය. මෙම චිත්‍රපටි වලින් ඔතිසම් ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකියි.




මෙම රෝගය ඇති ළමුන් හදා වඩා බලා ගැනීම ඉතා අපහසු කාර්යයක් විය හැකිවන අතර, ඔවුන් බොහෝ විට විශේෂ පාසැලකට යැවිය යුතු. ලංකාවේ, චිත්‍රා පටුමග, කොලඹ 5 දී, එවැනි පාසලක් තිබේ. එම පාසල මෙවැනි ළමුන් ගැන ප්‍රායෝගික දැණුමක් ඇති ලංකාවේ එකම පාසල විය හැකියි.

ලංකාවේ ඔටිසම් නම් ආබාධය ගැන දැණුම වැඩීමට ව්‍යාපාරයක් ඇත.

Friday, June 20, 2008

බ්ලොග් අඩවි සහ නීතිය

බ්‍ලොග් අඩවි තුරුදැල ආශ්‍රිතව නව නිපදවූ අදහස් දක්වන ක්‍රමයකි. එනිසා එයට අදාල නීති රීති තවමත් ලියවී නැත. කෙසේ වුවද, සිංහළ බ්‍ලොග් කරුවන් වන අප මේ ගැන විපරමින් සිටිය යුතුයි. බ්‍ලොග් කිරීමේ නිදහස රැක ගත යුතුයි.

2006 වසරේදී බ්ලොග් සටහනක ලියා තිබූ දෙයකින් චරිත ඝාතනයක් වූ බව කියමින් ඇමෙරිකාවේ, නඩු දැමිණ. ඊයෙ පෙරේදා Associated Press news service (the "AP wire") නම් සමාගම, Drudge Retort බ්ලොග් අඩවිය තමාගේ පුවතක කොටසක් පළකල බවත්, එසේ කිරීම නීති විරෝදි බවත්, එයට ලින්ක් කිරීමට පමණක් ඉඩදිය හැකි බවත් ඔවුන් දන්වා ඇත.

වත්මන් නීති අනුව, Drudge Retort බ්ලොග් අඩවිය කිසිම වරදක් නොකල කියලයි නීතිය දන්නා අය කියන්නේ. බලොග් කරන අය මේ නීතිමය පියවරට තද විරෝදය දක්වා තිබෙනව.

අපට මෙම බලපෑම් වැදගත් නොවුණත්, ඒ ගැන මදක් සිතන එක හොඳයි!


මෙන්න AP කතාව

බ්ලොග් කිරීමෙන් විය හැකි අසිරිමත් ප්‍රතිඵල :-)


බ්‍ලොග් අඩවි සබැදි නීති

Thursday, June 19, 2008

දඬුවම, මනසට අහිතකර ද?

වේවැල් කෝටු නාරං සියඹලා අතු
කිතුල් පොල් ඉරටු වැල් කසඹිලිය අතු
මෙ හැම ඉපල් මගෙ දෑතට නොපෑ යුතු
පමා නොවී එමි අකුරට මෙයින් මතු

පාසැල් අවදියේ ගුරුවරුන් ගෙන් අපට නොයෙක් විදියේ දඬුවම් නොලැබුණු අය සුලභය. වත්මන් පාසල් තුල මෙවැනි දඬුවම් ළමුනට අහිතකර බවත්, ඔවුනගේ මනසට අහිතකර පමණක් නොව, එය ඔවුනගේ වැඩිහිටි ජීවිතයට පවා බලපා හැකි වගක්, ළමුන්ගේ මානසික රෝග පිලිබඳ විශේෂ ඉගෙනීමක් කර ඇති සමහරු කියයි. දැන් පාසැල් වල ගුරු දෙගුරුන් ළමුනගේ දෑතට කිසිවක් පෑමට පෙර දෙවරක් සිතනු ඇත!

ඉතා ඉවසිලිවන්ත, කරුනාවෙන්, මෛත්‍රියෙන් පිරී ගිය හදවත් ඇති ගුරුවරුනට, දරුණුම, කම්මැලිම ළමුනද හොඳ සිසුන් බවට පත්කර හැකි බවට විශ්වාසයක් තිබෙනව වගේ මට පේන්නෙ. නමුත්‍ මෙය සත්‍ය ද? "කම්‍මැලි කොළ්ලන් " වැඩිවෙයි ද?

කම්මැලි කොළ්ලනේ
පොල්කටුව ගෙන අතටේ
පලයව් හිඟමනේ
තොපට නැත කිසි වැඩක් මෙතැනේ.

මෙහි අතුරු විපාක හෝ සාර්ථකත්වය සමාජයේ හැසිරීම හා දෙගුරුන්ට දක්වන ආදරය, කරුනාව හා දායාදයෙන් නුදුරු අනාගතයේ දැක ගත හැකිවේවි.

මිනිස් සිරුර - බුදු වදනින්

වෛද්‍ය විද්‍යාව, මිනිස් සිරුර ගැන සෑහෙන අවබෝධයක් ගොඩනැගීම, එම විදු දියුනුවට වැදකත් අත්තිවාරමක් වීය. සිරුර පලමුව කොටස් වලටද (හිස හා ගෙල, උදරය යනාදී වශයෙන්), පද්ධති වලටද, ඉන්පසු ඉන්ද්‍රියන් වලට, පටක වලට, ශෛල වලට හා වර්ණ තනුක හා ප්‍රවේණ්‍යණු වලට දක්වා ව්‍යවච්ඡේද කරමින් මෙම කාර්යය තවමත් කෙරෙමින් පවතී. නමුදු වෙනත් වේද ක්‍රම සිරුර දිහා බලනුයේ වෙනත් විදියකටය.

බුදු රදුන් සිරුර විස්තර කලේ කෙසේද? මෙසේය.

සිරුර, ධාතු කිහිපයකින් සමන්විත බව මෙසේ විස්තර කලේය.

පඨවි ධාතුව - එනම් සිරුර තුල අභ්‍යන්තරව හෝ බාහිරව ඇති සියලුම තදවූ ඝණ වූ දේ ( කෙස්, මස්, ඇට, ඇට මිදුලු පෙනහලු යනාදී)

ආපෝධාතුව - එනම් සිරුර තුල අභ්‍යන්තරව හෝ බාහිරව ඇති සරල වශයෙන් ද්‍රව ගතිය ඇතිදේ ( පිත, සෙම, සැරව, ලේ යනාදී)

තේජෝධාතුව - එනම් සිරුර තුල අභ්‍යන්තරව හෝ බාහිරව ඇති උණුසුම, දවන ගතිය, දිරවන ගතිය.

වායෝධාතුව* - එනම් සිරුර තුල අභ්‍යන්තරව හෝ බාහිරව ඇති සුළඟ හෙවත් වායුව

ආකාශ ධාතුව - එනම් සිරුර තුල අභ්‍යන්තරව හෝ බාහිරව ඇති අවකාශයයි (ඇස්, කන්, නාස ආදී සිදුරු සහිත තැන්වල)

මෙම විස්තරය සිරුර ගැන වෙනත් විදියකින් බැලීමකි. එය සිරුරේ ඇතිවන රෝග ආබාධ විස්තර කිරීමටත්, සිරුර මැදිහත් කොට භාවනාවේ යෙදීමටත් අගනේය.

*වායු ධාතුව තව මෙසේ විසිතර කරමින් - යම් කෙනෙකුගෙ සිරුරේ ඉහලට යන වායුවක්ද, පහලට යන වායුවක්ද, කුසතුළ ඇති වායුවක්ද, බඩවැළ් ඇතුලත ඇති වායුවක්ද, අත්පා හැකිලීමට හා දිග හැරීමට උපකාරී වන වායුවක්ද, ආශ්වාස ප්‍රාශ්වාස වශයෙන් වායුවක්ද ඇත.

Wednesday, June 18, 2008

අභ්‍යන්තර පරිසර දූෂණය

පරිසරය, දූෂණය වෙමින් පවතින බව දැන් කවුරුත් දන්නා කරුනකි. නමුත් අපි නොසලකන තවත් පරිසරයක් තියෙනව. අප සිරුර තුල ද පරිසරයකි. එයද දූෂණය වෙමින් පවතී. එම පරිසරය පිට පරිසරය මෙන් නොව, පහසුවෙන් බිදෙන පරිසරයකි. එහි උෂ්නත්වය, pH මාපාංකය, ලවන ප්‍රමාණය සහ ඒවා අතර සමතුලිතතාවය, ජීවී බව තබාගෙන වෙනස් විය හැක්කේ අල්ප වශයෙනි.

ආහාර වල ඇති නොයෙක් අහිතකර කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය අප සිරුර තුලට යයි. හුස්ම ගන්නා විටද එසේමයි. කෘත්‍රිම ආහාර සහ බීම වර්ග ගන්නා අය දැනුවත්වම ඔවුනගේ ඇතුලු පරිසරය දූශනය කරයි. වතුර බොනව මදි. නුසුදුසු කෑම වර්ග අනවශ්‍ය ප්‍රමාණයක් අනුබව කරනව. කැලරි වැඩියි. තෙල් මේද වැඩියි.

කොහොම හරි, සෑහෙන්න නිරෝගී යැයි කිව හැකි තත්ත්වයක ඉන්නෙ අප සිරුරේ ඇති පුදුම සැකසීමට ඇති හැකියාව නිසයි. නමුත් මෙතනත් ලොකු කාල බෝම්බයක් ටික් ටික් ගානව......

Friday, June 13, 2008

අංග විකල අයට ප්‍රවේශය දියුණු කරන්න නිදහස් මෘදුකාංග










ඇස් පෙනීමේ දුර්වලකම් හා අත්වල දෝශ ඇති අයට පරිගනක භාවිතයට උදව් කිරීමට භාවිතා කල හැකි විවෘත මෘදුකාංග කිහිපයක් ගැන තොරතුරු ටිකක් මෙන්න. මේවාට ඉංග්‍රීසියෙන් "assistive technologies" හා "accessibility" ලෙස හදුන්වනු ලැබේ.

උබුන්ටු නම් ගනූ/ලිනක්ස් මත ගොඩනැගුනු මෘදුකාංග පද්ධතිය, ඩෙස්ක්ටොප් එකට යොදවන්නේ ගනෝම් (Gnome). ගනෝම් වල ප්‍රවේශය දියුණු කිරීමට වෙනම ව්‍යාපාරයක් තියෙනව. Gnome accessibility project කියල.
ඉහත පිංතූර වලින් ස්ක්‍රීන් එක ලොකු කර පෙන්වන screen magnifier එක්ද, ඔන් ස්ක්‍රීන් යතුරැ ලියනය on screen keyboard ද, හෙඩ් මවුස් සහ කතා කිරීමෙන් පරිගනකය භාවිතා කරන කෙනෙක්ද පෙන්වනු ලැබේ.

යතුරු ලියනය භාවිතාව පහසු කිරීමට අනතුරුව, යතුරක් ගොඩක් වෙලා ඔබාගෙන සිටියොත් එකම අකුර දිගටම වදින්නෙ නැතිවන පරිදි සකස් කල හැකිය. system - preferences - accessibility- keyboard accesibility preferences වලට ගොස් මෙවැනි වෙනස් කම් හා "මවුස්" භාවිතයට වෙනස් කරගත හැකි වනව. තවද system - preferences - accessibility-Assitive Technology Preferences menu වලින් තව නොයෙක් දේ කල හැකයි. පෙනෙන සමහර කොතස් ලොකු කර පෙන්වීම(magnifier), ස්ක්‍රීනය මත පෙනෙන දේ ගැන ශබිද මගින් හෝ කතාවෙන් ඇඟවීම ද, බ්රේල් යතුරු ලියනයකට යැවීමද (screenreader) යතුරු ලියනය ස්ක්‍රීනය මත පෙන්වීමද කෙරේ.

ෆයර්ෆොක්ස් firefox 3 තුලද මෙම තාක්ෂනය දැන් ග්නෝම් 2.2 හරහා යෙදවිය හැකවී ඇත. මෙමගින් Accessible Rich Internet Applications (ARIA)(http://www.w3.org/WAI/intro/aria) and Live Regions (http://www.w3.org/TR/wai-aria/#liveregions) යන නව වෙබ් තාක්ෂන ගනෝම් හා ෆයර්ෆොක්ස් වල භාවිතා කල හැකිවේ. ගනෝම් මෙවැනි දේ කිරිමත භාවිතා කරනුයේ ඔර්කා orca නම් ඔවුන්ගේ තාක්ෂනයකි. braille බ්රේල් නම් ඇස් නොපෙනෙන අය කියවීම භාවිතා කරණ ක්‍රමයට තනන ලද උතුරු ලියනද භාවිතා කිරීමට පුලුවන. තව සමහර අයට යම් පාට නොපෙනේ - ඔවුනට සුදුසු වෙනස් කිරීම් විශේෂ "පෙරනයන්" හෝ filters වලින් කල හැක.
ගනෝමි ගේ කෙරෙන වැඩ ගැන මෙතෙන
http://developer.gnome.org/projects/gap/



kde නමි ඩෙස්ක්ටොප් එකද මෙවැනි දෙයක් කරනව.
http://accessibility.kde.org/
ස්ක්‍රීනය මත ඇති අකුරු ශබ්ද නගා කියවීමටද පුලුවන (text to speech).

voice command recognition යන තාක්ෂනය කරන්නේ මයික් එකකින් ඩෙස්ක්ටොප් එක පාලනය කිරීමටයි. speech recognition වලින් අප කියනදේ ලියවෙනව. දැනට මෙම අන්තිමට කී තාක්ෂනය විවෘත මෘදුකාංන අතර නැත. නමුත් එම විවෘත නොවන මෘදුකාංග අතර ඉහලින්ම ඇති Dragon Naturally Speaking , වින්ඩෝස් හා ලිනක්ස් යන දෙකේම යෙදවිය හැකිය.

ඩෑෂර් Dasher යනු මවුස් පමණක් යොදා ලිවීමට පුලුවන් මෘදුකාංගයකි (එහි සිංහළත් තියෙනවා). එනිසා ඔලුවට සවිකල මවුසයකින් හෝ කකුලින් වැඩකල හැකි එකකින් අකුරු ලිවිය හැකිවේ. මෙන්න ඩෑෂර්
http://www.youtube.com/watch?v=0d6yIquOKQ0

ගනෝම් වොයිස් වැඩකරන හැටි මෙතන.
http://www.youtube.com/watch?v=w1pyw4fRJH0

ස්ක්‍රීන්රීඩරයක් වැඩ කරන හැටි බලන්න.

http://www.youtube.com/watch?v=wfjD06aOxts&feature=related

කතාවෙන් පරිගනකය පාලනය කිරීමට විවෘත මෘදුකාංග යොදවීම තව ඉදිරියට ගෙනයාමට මේ අය වෙහෙසෙයි.
http://voxforge.org/

ෆෙස්ටිවල් නමැති කතාව පරිගනකයක් හා එක්කරණ සුසැටිය ගැන යමක් දැන ගන්න.
http://www.cstr.ed.ac.uk/projects/festival/

වෙදකම විද්‍යාවක් නොව කලාවකි

වෙදකම පුරානයේ සිටම වැදගත්ම වෘතියක් ලෙස සැලකූ වග පැහැදිලියි. සමාජයේ වෙදාට ලොකු සැලකීමක් තිබුණ. ඔහු කල සේවය අගය කලා. ඔහු කියන දේට ඇහුන්කම් දුන්නා. අවවාද පිලිපැද්ද. ඔහුගෙන් වෙදකමට අදාල නොවනදේ ගැන පවා විමසුව.

වෙද මහතා ගමේම කෙනෙක් නිසා, එකල ඔහු හැමෝම දන්නව. ගමේ හෝ නුවර සමාජය හදුනනව. ගමේ කෙනෙක් ලෙඩවුනාම සමහර විට ගෙදරටම ඇවිදින් රෝගය සෝදිසි කර, කතා කරල බෙහෙත් දීල යනව.

මෙකල වෙදකමට නිරත වූ අය කරන්නෙත් එවැන්නක්මයි. සමහර වෙනස්කම් තිබුනත්, මූලිකව කරන්නෙ ලෙඩා හොදින් බලල, කතා කරල, බෙහෙත් දීල, සමහර පරීක්ෂන කරල තව දුරටත් රෝගය හා ලෙඩාගේ තත්ත්වය නිරීක්ෂනය කරනව.

ලෙඩුනට වෙදකම් කරන කෙනා "බ්‍ටහිර" හෙවත් "ඉංග්‍රීසි" හෙවත් "විද්‍යාත්මක" ක්‍රමය භාවිතා කරනව වෙන්න පුලුවනි. නැතිනම් රටට ආවේනික වූ ක්‍රමයක් භාවිතා කරනව වෙන්න පුලුවනි. විද්‍යාත්මකව ලෙඩ රෝග ගැන සෙවීම නිසාද තාක්ෂන දිවුනුව නිසාද, වෛද්‍ය විද්‍යාව ලොකු විප්ලවයක් ඇතිකරමින් ඉදිරියට යන බව පැහැදිලියි. එනමුදු ලෙඩා හා වෙදා අතර පවතින සබදතාව, බොහෝ දුරට පෙර මෙන්ම පවතී. එනම් මිනිසුන් දෙදෙනෙක් අතර විශ්වාසය උඩ නැගෙන අපූරු එක්වීමකි. වෙදතුමාගේ අධිෂ්ඨානයද, ලෙඩාගේ බලාපොරොත්තුවද සුවබව ඉක්මනටම ලබා ගැනීමයි.

නමුදු ගැටලුව මේකයි. සමහරවිට රෝගය නිරාකරණය කල නොහැකිය. ලෙඩා එය එසේ විය හැකි බව දැන දරා ගනී. හමහර විට රෝගය සුව කල නොහැක. ලෙඩා මෙයද භාර ගනියි. සමහරවිත බේත් වල සැර /විස නිසා ලෙදුන් දුක් විදිනාවා. බොහෝවිට ලෙඩා මෙයත් විය හැකි දෙයක් බව දැන, හිතහදා ගනී. ලෙඩාගේ මරණය අත ලඟය, කරන්නට කිසිම දෙයක් නැත. මෙවැනි අවස්තා වලදී රෝගියාට හා ඔහුගේ පවුලේ අයට වෙද මහතා කල යුත්තේ ඔවුනට පැහැදිලිව ඒ බව දන්වා, කරැනාවෙන්, ආදරයෙන්, මෙත් සිතින් දිගටම තම සහයෝගය දීමය. රෝගියාගේ පවුලටත්, සහෝදරයනටත් තම උපදෙස් , අදහස්, පැහැදිලිව දෙනබවත්, ඔවුන් වෙනුවෙන් පිහිටව දිගටම ඉන්නා බවත් දෙගොල්ලනටම පැහැදිලි විය යුතුයි. මෙය කලාවකි, විද්‍යාවක් නොවේ.

මිනිසුන් හා සමාජය සමග කිට්ටුවෙන් වැඩ කල යුතු වෘතියක විද්‍යාවෙන් පමණක් තම සේවය හරිහැටි කල නොහැක.

Wednesday, June 11, 2008

ටිඩ්ලිවිකී සටහන් පොත


කෙටි සටහන්‍ තබා ගෙන, යන යන තැන ගෙනයා හැකි අපූරු, දැල් සිප්ලකුවලින් තැනුනු මෘදුකාංගයක් - දැන් සිංහළට

සිංහල උනිකෝඩ් හා "සයුර" නිසා කරන්න පුලුවන් වන වැඩ!
මට හරි වචන සොයන්න අපහසු නිසා, දැනට මෙහෙමයි. නව වචන මාලාවක් අවශ්‍යයි. එහෙම දෙයක් කෙරෙනව නම්, මටත් දන්වන්න..............

Tuesday, June 10, 2008

පිරිත් සහ වතුර


පිරිත් දේශනාවලදී ඇතිවන ශබ්ද තරංග සුවිශේෂයි. සංගීතයෙන් ස්වර 7 තිබුනද පිරිත් වල ඇත්තේ 4 පමනි. එනිසා, පිරිත් ගැන කිසිවක් නොදන්නා අයගේ වුවද රාග සිතුවිලි සිතේ හටනොගනී යයි විස්වාශ කරනු ඇත. මාදවල උපාලි තෙරුවන් වහන්සේ හා චන්දන ජයරත්න මහතා විසින් පිරිත් ශබ්ද තරංග පරිගනිකයක් හා කූල් එඩිට් මෘදුකාංගය යොදවා කරන ලද පර්යේෂණයක පිරිත් සාමාන්‍ය වේගයකින් දේශනා කල විට, තරංග විලාශය ලස්සනට ඒකාකාර විය. කිසිම සංගීතයකින් එවැන්නක් නොලැබිය.

ජපානයේ කරන ලද පර්යේෂණයක, ඔවුන් වතුර ස්ඵටික සෑදීමට නොයෙක් ශබ්ද තරංග වල බලපෑම සෝදිසි කලේය. එහිදී පිරිත් වැනි ශබ්ද තරංග වැදුනු ජලය වෙනස් ආකාරයේ ස්ඵටික ජනනය කලේය. රොක් සංගීතයත් හැදුනු එක බලන්න....

මෙහි සත්‍ය හෝ අසත්‍ය මට කියන්න අපහසුයි. කෙසේ වුවද ඉතා අලංකාර පර්යේෂණයක් බව නම් කිව යුතුයි!

මිනිස් සිරුර 70% පමණ වතුර නේ.........

http://www.liebertonline.com/doi/abs/10.1089%2F107555304322848913
http://www.youtube.com/watch?v=lkbpXRSIUnE&feature=related

මරණයට ආසන්න වූ අයගේ අත්දැකීම්

වෛද්‍යවරුන් සමහරවිට "මැරුනයි" කිව හැකි අය නැවත පණගෙනදයි. එනම් ඔවුන්ගේ හෘදය නවතිනව, කුස්ම නවතිනව, නාඩි නැතිවෙනවා. කොහෙත්ම කීවොත්, හෘදයේද මොලයේද විද්‍යුත් ක්‍රියාකාරිත්වය නවතිනව. ECG හා EEG නමැති මේ විද්‍යුත් ක්‍රියාකාරිත්වය දිගටම සටහන් කරන යන්ත්‍රවල මෙම අක්‍රිය බව පෙන්නනව.

මේ අය ටික වේලාවකට පසු නැවත "පණ" එනව. ඔක්කොම උපකරණ නැවත වැඩ කරන්න පටන් ගන්නව. හුස්ම එනව, නාඩි අහුවෙනවා. අන්න මේ අය ගෙනයි මේ කතා කරන්න යන්නෙ.

මේ අයගෙන් සමහරු කියනව, ඔවුනට මතකලු, ඔවුන් "මැරුණ" අවස්තාව! සමහරු කියනවා වෛද්‍යවරු, හෙදියන් තම සිරුරට බෙහෙත් කරනවා දුටු බව. සමහරු න්ගේ විස්තරය පුදුමවන තරම් පැහැදිලියි. මෙම අත්දැකීම් වලට ඉංග්‍රීසියෙන් කියනව "නිය ඩෙත් එක්ස්පීරියන්සස්" හො අවුට්‍ ඔෆ් බොඩි එක්ස්පීරියන්සස් කියල (near death experiences or out of body experiences). සමහරු කියනව මෙය කායික විද්‍යාව අනුව විස්තර කල හැකිය කියල. මොලයට ඔක්සිජන් අඩුවූ විට මෙවැනි දේ "දකිනව" කියල. නමුත් එසේනම් හැමෝටම මෙය නොවන්නේ ඇයි? ඔවුන් සමහරකට වෙදකරන අයගේ හැසිරීම් සවිස්තරව කියන්නේ කෙසේද?

නෙදර්ලන්තයේ කරන ලද පර්යේෂණයකදී මෙසේ නැවත පණගැන්වුනු අය 344 කින් 42 (18%) දෙනෙක් පමණක් අත්දැකීම් තිබූ බව ප්‍රකාශ කලා. (Pirn van Lommel, Ruud van Wees, Vincent Meyers, Ingrid Elfferich
The Lancet
- Vol. 358, Issue 9298, 15 December 2001, Pages 2039-2045)

ඇමරිකාවේ වර්ජීනියා නුවරේ කල පර්යේෂණයකින් මේ අය මානසික ආබාදයකින් පෙලෙනවුන් නොවන බව පෙන්වාදීය.(Bruce Greyson. The Lancet - Vol. 355, Issue 9202, 5 February 2000, Pages 460-463)

පර්යේසහණ කීපයකම දැක තිබෙන වැදගත් කරුණක් තිබේ. එනම් ඔවුනගේ මොලය අක්‍රිය වුවද, ඔවුනට "සිහිය" හෝ විඥානය පැවතූ බවයි. මේ ලෙඩුන්ගේ EEG යන්ත්‍රවල අනුව මොලයේ කිසිම දෙයක් වාර්ත් නොවන අවස්තාවක ඔවුනට පෙනුනු දේ විස්තර කිරීමට ඔවුනත හැකිවීම දක්වන්නේ, මොලය විඥානයට අවශ්‍ය නොමැති බවයි. (Parnia S. Fenwick P. Resuscitation. 2002 Jan;52(1):5-11.)


සිංහළ බ්ලොග් වලට නව සිංහළ යෙදීම් කෝ?

සිංහළ බ්ලොග් කරුවන්ගේ සංගමය හා සිංහළ බස යොදා පරිගනක භාවිතා කරණ අයට තේරීගෙන යා යුතු දෙයක් නම්, නොයෙක් නව විද්‍යාත්මක, තාක්ෂනික හා පරිගනක සාස්ත්‍ර වලත අදාලදේ ගැන බ්ලොග් කිරීමේදී සුදුසු වචන නොතිබීමයි.

පරිගනක ගැන ලියන විට, මෘදුකාංග සහ දෘඩකාංග සදහා යෙදිය යුතු වචන හැකි ඉක්මනින් නිපදවා ගත යුතුය. මට පෙනෙන විදියට ක්‍රම කිපයක් භාවිතා කල හැකියි.
1. ඉංග්‍රීසි වචනය සිංහලෙන් ලිවීම උදා: මවුස්
2. ඉංග්‍රීසි වචනය "ය" කිරීම - කොම්පුටරය, මවුසය
3. සිංහළ/සංස්කෘත/පාලි අතරින් වදන් පෙලගැන්වීම - අන්තර්ජාලය, පරිගනකය
4. සිය බස් වදන් -
තුරුදැල=internet
සුසැටිය=system

File = ගොනුව
Edit = සකසන්න
View = දසුව/දසුන?
ගැටළු!

සිංහළෙන් බ්ලොග් කරන අය මේ වචන එක් පොදු තැනක සටහන් කරගෙන (විකියක) තම තමන්ගේ බ්‍ලොග් වල යෙදෙව්වා නම්, එම වචන වියාප්තියට හොද අඩිතාලමක් වනු නියතයි.

දැනට තිබෙන වචන එකතු

http://sinhala.linux.lk/
http://wiki.mrt.ac.lk/sinhala/index.php?title=%E0%B7%80%E0%B6%A0%E0%B6%B1_%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80

කෘත්‍රිම පැණිරස

දියවැඩියාව සහ තරබවින් වැඩි අයට, සීනි කෑම අගුනවන බවට වෛද්‍ය අදහසයි.

"සීනි කන්න බෑ! කැවුමක් වත්? තේ කෝප්පයට එක හැන්දක් දැම්මම මොකද? හකුරු නරක නෑ නේද? කිරි එක්ක පැනි බොහොම ඇබිත්තක් ගත්තොත් නරකද? බෑ!? අහෝ! පැණිරස කෑවත් නොකැවත් මැරෙනොවා නොවැ......"

"ඇත්තටම පැණි නැති කැවුමකින් වැඩක් තියෙනවද? කව්ද බොල ඕව කන්නෙ?"

"දොස්තර මහත්තුරු කියනව, සැකරින් යොදාගන්න කියල. ඒව පැණිරසවුනාට දියවැඩියාවට වරදක් නැතිලු. තරබවටත් බලපාන්නෙ නැතිලු. කැලරි නැතිලු. තියෙන්නෙ වියදම විතරයි. ඔන්න!"

"ඇත්තෙම්ම ඔය කියන රසායනික ද්‍රව්‍ය සිරුරට අහිතකර නැද්ද?"

ඇස්පාටේම්, සෝබිටෝල්, සුක්රලෝස්, නියෝටේම් හා සැකරින් ඉන් සමහරකි. සෝබිටෝල් හැරුනු විත, අනික් ඔක්කොම කෘත්‍රිම රසායනික සංයෝග. තවද, "සීනි මධ්‍යසාර" ලෙස හදුන්වන, පොලිපොල්ස් නම් රසායනික ද්‍රව්‍යද යොදවාගනු ලැබේ. අපි සීනි කියා හදුන්වන සුක්රෝස් වලට වඩා පැණිරස අඩු සංයෝගද, වැඩි සංයෝගද ඇති බැවින් ද, ඒවාහි රස වෙනස් බැවින්ද, සමහර ආහාර සහ බීම වර්ග පිලියෙල කිරීමේදී, ඒවා නොයෙක් අනුපාත වලට මිශ්‍ර කරනු ලැබේ.

මේ ද්‍රව්‍යයන් බොහොමයක් සිරුරු ගත වූ පසු, සිරුරේ අවයව වලට ලේ මගින් ගෙනයනු ලැබේ. අප සිරුරට මෙම ද්‍රව්‍යයන් අස්වාභාවික නිසා, ඒවා පරිවෘත්තියට භාජනය කල නොහැක. එමනිසා කැලරි නොමැති තරම්. නමුත් ඒවා සිරුර තුල කුමක් වනවාද, කොයිවිදියේ ද්‍රව්‍ය ඇතිවනවාද, එකතුවනවාද යන්න ගැන වැඩි අවබෝධයක් නොමැත. මිනිස් සිරුරට අහිතකර නොවීමට නම්, ගත හැකි වැඩිම ප්‍රමාණය කෙතරම්ද? කුඩා ළමුනට?


අවාසනාවට මේ ද්‍රව්‍යයන් දැන් බොහෝ ළමුන්ද පරිබෝජනය කරන ආහාර හා බීම වර්ග වල අඩංගු වී තිබේ. "ඩයට්" නම් වචනය මුලින් යොදවන බොහෝ බීමවල ඇත්තේ මේවායි. මේ පරිබෝග ඉතාම බලසම්පන්න කර්මාන්ත වලින් නිපදවන බීම වර්ග වේ. මුලින් කී රසායනික ද්‍රව්‍ය නිපදවන කර්මාන්තද විශාල අන්තර්ජාති සමාගම් වේ.

දැන් එහෙනම් ගැටලුවකි. මේවා සිරුරට අහිතකර විය හැකිද? සමහර මීයන් වැනි සතුන් යොදවා කල පර්යේෂණ වලදී, උනට, පිලිකා රෝග හා මොලය, අක්මාව අන අවයව වලට හානි සිදුවීයයි වාර්තා විය. නමුදු, එම පර්යේෂණ, විද්‍යාත්මක අතින් එතරම් උසස් ගනයේ නොවීය. එමනිසා වැඩි අවදානයක් නොගෙනාවේය.

මෙතරම් ලොකු සංවිධාන මේවා හදාගෙන බෙදනාවානම්, ලොකු විද්‍යාත්මක පර්යේෂණ නොකෙරෙන්නේ ඇයි? මෙම සමහර සංවිධාන වලට විරුද්ධව නඩු දමා ඇත. එක හේතුවක් නම් බොරු ප්‍රචාර ගෙනයෑම පිලිබදවයි. ස්ප්ලෙන්ඩා නම් කෘත්‍රිම පැනිරස නිපදවන සංගමයත විරුදඩව මෙම වෙබ් අඩවිය පනවා ඇත. මෙහි ක්ලෝරීන් අඩංගු බවත් ඔවුන් පෙන්වා දෙයි. http://www.truthaboutsplenda.com/

මෑතකදී මෙම ද්‍රව්‍ය යොදාගන්නා බීම, මිනිසුන්ගේ තර බව වැඩිකරන බවත අනතුරු අගවා තිබෙනවා.ඇමෙරිකාවේ සාන්ත අන්තෝනියෝ නුවර, තෙක්සාස් සරසවියේ කල පර්යේෂණයකින් මේ බව දක්වයි. මෙම පර්යේෂණය එතරම් සාර්තක එකක් යැයි මා නොසිතුවත්, නිරාකරණය කල යුතු ගැටලු තිබෙන බව නොඅනුමාණයි.

හොදයි, සීනි නැතුවම බැරිද?

විද්‍යුත් වෙද වාර්තා

වෛද්‍ය වාර්තා පරිගනක තුල එකමුසු කර තැබීම දැන් නොයෙක් රටවල කෙරීගෙන යන බව අසන්න ලැබෙනවා. ඉන් ඇතිවන හොඳ නරක, වාසි අවාසි මොනවාද?

වාසි

  • එකමුසු බව, එනම් සෑම වාර්තාවක්ම එකතැනකින් ලබා ගත කැකි වීම.
  • සම්පූර්න බව - එක්ස්රේ පිංතූර පවා බැලීමට පුලුවන් වීම
  • ඕනෑම තැනකින් (පරිගනකයක් ඇති) ලභාගත හැකිවීම.
  • ඕනෑම තැනකින් (පරිගනකයක් ඇති) එයට දත්තය එකතු කල හැකිවීම.
  • සැමවිටම රෑ දවල් නොතකා ලබාගත හැකිවීම
  • වෛද්‍ය වරුනට අවශ්‍ය නොයෙක් දත්තයන් පහසුවෙන් ලබා ගත හැකිවීම
  • සමහර වැරදි දේ ඇතුලුකිරීමට ඉඩ නොදීමෙන් ලෙඩුනට විය හැකි හානි වැලකීම
  • මතක් කිරීම් වලින්, ලෙදුනට විය හැකි අතපසුවීම් අවම කිරීම - සායනයට අවශ්‍ය දිනය, පරීක්‍ෂණයකට පැමිණි යුතු බව වැනි දේ
  • අවශ්‍ය දත්තයන් පමණක් තෝරා බේරා ගෙන බැලීමට ඇති හැකියාව
  • බිල්පත්, රක්‍ෂන වාර්තා පිලියෙල කිරීම පහසු වීම
අවාසි
  • වියදම - පරිගනක, ජාලයන් හසුරවීමට සහ නඩත්තුව, මෘදුකාංග වලට, මේවා බලාගන්න අයට පඩි ගෙවීමට යනාදී ලෙස. නමුත් කල් යත්ම, කාර්යක්‍ෂවම හැසිරවූවිට ඇතිවන ලාභයන් මේ වියදම මකා හරින භව බොහෝ අයගේ විශ්වාසයයි.
  • මෙය කාර්යක්‍ෂවම භාවිතා කිරීමට නම්, යම් විශේෂ දැනුමක් ගොඩක් දෙනෙකුට ලබා දියයුතුවීම.
  • ආරක්‍ෂකතාව ගැන (වාර්තාවල තිබෙන දේ පුද්ගලික නිසා) ප්‍රශ්ණ
  • පුද්ගලිකතාව නැතිවිය හැකි බවට ඇති භිය
  • ප්‍රමිති නොමැති නිසා පසුව නොයෙක් ගැටලු ඇතිවිය හැකි බව
  • භාවිතා කරණ අය අතර වගකීම් සහ අයිතිවාසකම් ගැන ගැටලු
  • මෘදුකාංග දුරදිගට හඩා වඩා ගැනීමට තිබෙන අවශ්‍යතාව නිසා, ඒවායේහි අයිතිවාසාකම වැදගත් වීම - මේ අනුව විවෘත මෘදුකාංග (ඕපන් සෝස් මෘදුකාංග) වල වැදගත්කම විශේෂයෙන් සැලකිය යුතුවේ.
පුද්ගලික වෛද්‍ය වාර්තා මෙලෙස තබා ගැනීමට කැමති අයට, බොහෝ සමාගම්, මුදලකට මෙහෙය ලබා දෙයි. ගූගල් සමාගමද දැන් එම සහාය දෙනු ඇත.

https://www.google.com/accounts/ServiceLogin?service=health&nui=1&continue=https%3A%2F%2Fwww.google.com%2Fhealth%2Fp%2F&followup=https%3A%2F%2Fwww.google.com%2Fhealth%2Fp%2F&rm=hide

Monday, June 9, 2008

දුක, සතුට හා නිරෝගි බව

පිලේ පැදුර හේනට අරගෙන යනවා
එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා
- දුකට කියන කව් සීපද - මහගමසේකට

නිරෝගී බව හා සතුට අතර කිට්ටු සබදතාවක් තිබෙනව නේද? සතුට හා දුක අතරත්‍ අමුතුම වෙලීමක් තිබෙනව නේද? දුකටත් කවි ලියනවා, ගීත ගයනවා, සිනාසෙනවා; සතුටිනුත් කවි කියනවා, ගීත ගයනවා, කදුලු හෙලනවා! නමුත් අපි දුක්වූවිට සතුට ගැන සිතන්නෙ නෑ, සතුටුවූ විට දුක ගැන අමතකවෙනව. අන්න ඒ වගේම තමයි රෝගී හා නිරෝගී තත්ත්වයන් වලදී අපි සිතන්නේ. එනිසා තමයි අපට නිරෝගී බවේ අගය නොදැනෙන්නෙ.

සමහර විට වෛද්‍ය වරු රූපවාහිනී, පුවත් පත්, ගුවන් විදුලියෙන් නිරෝගී කම රැකගන්නා හැටි කියනව. සමහර කියන දේ හැමොම දැනටමත් දන්නව, නමුත් පිලිපදින්නේ නෑ! සමහරවිට ඒ වෛද්‍ය වරුන් තමා කියනදේ තමා පිලිපදිනවද කියල සැක සිතෙනව!

ඒකට හේතුව මොකක්ද? මං හිතන්නෙ, නිරෝගී තත්ත්වයේ අගය අමතකවීම නිසා කියල. එහෙම නේද? හෘද ආබාදයක් හැදුනට පසුනම් සමහර අය, හරියට ප්‍රවේසම් වෙනව; උදේම නැගිට ඇවිදින්න යනව, කෑම ගැන හරි පරිස්සන්, බෙහෙත් වෙලාවට ගන්නව, ගෙදර අයටත් අවවාද කරනව!!

ඒත් සමහරු ලෙඩවුනත් කිසිම ප්‍රවේසමක් නෑ. ගෙදර අයට හරියට වද දෙනව; බෙහෙත් බොන්න බෑ කියනව, නොනවත්වා දුන් බොනව, හොරෙන් සීනි කනව. මේකට හේතුව තමයි, තමාට කරුනාව නැතිකම, ආදරය නැතිකම. තමාට ආදරය නැතිකෙනා, අනුන් කියන දේ අසයිද? කීකරු වෙයිද? කොහෙත්ම නෑ.

ලෙඩවුනු සහෝදර අය බලන්න යන එක අපේ සිරිතක්. ඒ අවස්ථා හරි අගෙයි. එහිදී ඔහුගේ දුක ගැන පමණක් නොව, තමාගේ නිරෝගි බව ගැනත් හොදින් සිතන්න. ඔහුට ලෙඩවූයේ ඇයි? මා එය වලකන්නේ කෙසේද? ඔහු කෙතරම් දුක් විඳිනවාද? තමා කෙතරම් වාසනාවන්තද, කියා සිතන්න පුරුදුවන්න.

දැන් නිරෝගි බව පවත්වා ගැනීමට අවශ්‍ය කුමක්ද යන්න තේරෙනව නේද?

  • තමාට ආදරය, කරුනාව දැක්වීමට පුරුදුවීම
  • තමාට ලෙඩවූවිට, පළමුව තමාටත්, දෙවනුව ඔබට කිට්ටු අයටත් ඇතිවන දුක, කරදර ගැන අවබෝධය
  • මින් අනුන් ගැන සිතීමට පුරුදුවීම
  • නිරෝගි බව ආරක්ෂා කරන්නේ කෙසේද යන්නට දැනුම වැඩීම
  • නිරෝගි බවේ අගය නිතර සිහිකිරීම
  • නිරෝගී බව හා සෞඛ්‍යෙ කුමක්ද යන්න පුලුල් ලෙස සිතන්න පුරුදුවන්ව.
නිරෝගි බව හා සතුට යන්නේ එකටයි. එකකින් අනික ලැබෙනවා.






සුවපත් වේවා!

රෝගී බව තමාට පමනක් නොව, තම පවුලටත්, රටටත්, ලොවටත් බලපානු ඇත. එමනිසා, නිරෝගී බව රැකීම, හැමොගෙම වගකීමක් වනු ඇත. ලෝක සෞඛ්‍ය සංවිදානය නිරෝගී බව යනු සිරුරේද, මනසේද, සමාජයේද සහනය පිහිටීම බවත්, රෝගයක් නොමැති බව හෝ දුබලවීමක් නොමැති බව පමණක් නොවන බවත්, විදහා දක්වයි.

එසේනම්, සෞඛ්‍යය ගැන සලකණ විට, ඉතා පුඵුල් ලෙස ඒ දෙස බැලිය යුතුයි. මනසේ සැහැල්ලු බව, සිරුරේ පාලනය, සමාජයේ හැසිරීම, පරිසරයේ පිරිසිදු බව යන සියල්ලම එක මෙන්ම වැදගත් වනු ඇත.

නිරෝගි බව පවත්වාගෙන යාමට, දැනුම අත්‍යාවශ්‍ය වේ. මනස, සිරුර, සමාජයේ හැසිරීම සහ පරිසරය ගැන හැකි තරම් දත්තය සොයා දැන ගනිමු.

මෙම බ්ලොග් අඩවිය ලිවීමට මා භාවිතා කරන්නේ අනුරාධ රත්නවීර මහතාගේ සයුර නම් යතුරු ලිවීමේ සැලැස්මයි -

"සයුර යතුරුලියන සුසැටිය." මෙම අඩවියේ නම් තැබීමටද එය හේතුවිය. http://www.sayura.net/im/

එතුමාට මගේ ස්තුතිය!